ගොඩනැඟිලි සංස්ථාවේ දේශපාලන පත්වීමකට සේවක විරෝධයක්

0
12

සී/ස ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවට දේශපාලන පදනම මත ලබාදුන් පත්වීමක් සම්බන්ධව එම ආයතනයේ බහුතර සේවකයන්ගේ විරෝධය පළවී තිබේ. ඉහළ කළමනාකාරිත්වය සමඟ නිරන්තරව මතභේද ඇතිකොටගෙන සේවය අත්හිටුවා සිටි නිලධාරිනියක මෙසේ බඳවා ගෙන ඇතැයි චෝදනා එල්ල වෙයි.

මීට පෙර දේශපාලන මැදිහත්වීමෙන් පත්වීමක් ලැබ, සේවකයන් හා ඉහළ නිලධාරීන් සමඟ නිරන්තරව ගැටුම් ඇතිකර ගෙන සිටි මෙම නිලධාරිනියට විරුද්ධව කම්කරු අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවද සේවකයෝ සඳහන් කරති. මෙම පත්වීමට විරෝධය පළකරමින් සේවකයන් වැඩවර්ජනයක නිරතවීමෙන් හා උද්ඝෝෂණයක් සිදුකරමින් සිය විරෝධය පළකර තිබේ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ කළුතර ගබඩාවේ කළමනාකරු නාමල් ජීවන්ත, ආයතනයේ සේවකයන් 238 දෙනාගෙන් 217 දෙනකුම මෙම පත්වීමට විරෝධය පළ කරන බව පැවැසීය. 2015දී දේශපාලන බලය යොදාගනිමින් සහකාර කළමනාකාර  තනතුරට පත්වු මෙම නිලධාරිනිය  සේවකයන් හා ඉහළ නිලධාරීන් සමඟ නිරන්තරව ගැටුම් ඇතිකරගත් බවද හෙතෙම පැවැසීය.

අමිත් මධුරංග ගමගේ