කාලගුණය තවත් දරුණු වෙයි

0
7

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමෙන් පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවැතිය හැකි බවත් පවතින ආපදා තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවැසීය. 

එසේම තද වැසි හා සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක නවයකට (9) දැඩි බලපෑමක් ඇති වූ අතර පසුගිය සඳුදා (1දා) සිට පැවැති නිරිත දිග මෝසම් වැසි හේතුවෙන් ඇතිවූ අධික ජල ගැලීම් ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුද්ගලයන් තුන් දෙනකු මියගොස්, පුද්ගලයන් හතර දෙනකු අතුරුදන්ව සිටින බවත් දිවයින පුරා පවුල් 3,037කට අයත් 12,289ක පුද්ගලයන් සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසීය.

දිවයින පුරා පීඩාවට පත් පුද්ගලයන්ට සහන සැපයීම වෙනුවෙන් ආරක්ෂිත ස්ථාන පහළොවක් (15) ස්ථාපනය කර ඇති අතර එහි පවුල් හාරසීය අසූ පහකට (485) අයත් පුද්ගලයන් 2,374 දෙනකු රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්යට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. මේ වන විට ආපදා තත්වයන් නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් තිදෙනකු අතුරුදන් වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පැවැසීය.

මේ වන විට පවතින අයහපත් තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් වැඩි පිරිසක් තවම දිස්ත්‍රික්කය තුළ සිටින බවත් මේ වන විට පවුල් 330කට අයත් පුද්ගලයන් 1,224ක් පීඩාවට පත්ව දිස්ත්‍රික්කය තුළ පිහිටුවා තිබෙන ආරක්ෂිත ස්ථාන හතරක් යටතේ පවුල් 58ක පුද්ගලයන් 254ක් රැඳී සිටින බවත් ඔහු සඳහන් කළේය.

අධික වැසි, සුළං හා ගංවතුර තත්ත්වයන් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය තුළ පවුල් 1,765කට අයත් පුද්ගලයන් 6,865ක් පීඩාවට පත්ව සිටින බවත් තත්ත්වය හේතුවෙන් කෑගල්ල, මාතර, හම්බන්තොට, ගාල්ල, මාතලේ, නුවර හා යාපනය දිස්ත්‍රික්ක හය තුළත් නිවාස 60කට අර්ධ හානි සිදුවී තිබේ. මේ වන විට මේ දිස්ත්‍රික්ක හය තුළ පීඩාවට පත්ව සිටින පවුල් 942කට අයත් පුද්ගලයන් 4,218කට ආරක්ෂිත ස්ථාන සපයා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසීය.

නායයෑම පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබූ මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා එය තවමත් වලංගු බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස පැවැසීය. 

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම නිසා පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල්, මන්නාරම හරහා කන්කසන්තුරය වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි බවත් මුහුදු රළ උස මීටර් 3.0 – 3.5 පමණ ඉහළ යෑමට හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවැසීය. 

පවතින දැඩි වර්ෂාවන් හේතුවෙන් කොත්මලේ ජලාශයේ වාන් ‍ෙදාරටු 2ක් තවදුරටත් විවෘත කිරීමට කටයුතු කර ඇති බවත් මේ වන විට බොහොමයක් ජලාශ පිටාර මට්ටම ආසන්නයේ පවතින බවත් ජලාශ භාර ඉන්ජිනේරුවරු පැවැසූහ.

මෙම අවදානම් තත්ත්වයේ සිටින පහත් බිම් අවට පදිංචි ජනතාව හැකි තරම් ප්‍රවේශම් වන ලෙසත් ජලාශ වාන් දැමීම් සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉන්ජිනේරුවරු සඳහන් කළහ.

පස් ක¾දු කඩා වැටීමෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයෙන් ගිනිගත්හේන ප්‍රදේශයෙන් හා හැටන් – මහනුවර මාර්ගය ස්ටැටන්වත්ත ප්‍රදේශයෙන් ඊයේ (3දා) අලුයම සිට අවහිරව පැවතීම නිසා මගී ගමනාගමනයට බධා වී ඇත.

එසේම දුම්රිය මාර්ගයට පස් හා ගල් කඩාගෙන වැටීම නිසා කොළඹ කොටුවෙන් පෙරවරු 5.55, 8.30, 9.45ට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අවලංගු වූ බවත් බදුල්ලෙන් පෙරවරු 5.45, 8.30, 10.15 කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රියන් අවලංගු කිරීමට සිදු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසීය.

උඩරට දුම්රිය මාර්ගයට කඩාවැටී ඇති පස් ක¾දු, ගල් සහ ගස් ඉවත් කර උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට යුද හමුදා සහයෝගය ලබාගත් බවත් ඊයේ වටවල දුම්රිය ස්ථානයට යාබදව දුම්රිය මාර්ගයට පෙරළී තිබුණු විශාල ගලක් පුපුරුවා ඉවත් කිරීමට පියවර ගත් බවත් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පැවැසීය.

 නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමඟ ඇති වූ අධික වැසි හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 850ක පුද්ගලයන් 3800ක් පීඩාවට පත්ව ඇත.

ඉකුත් පැය 24ක කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් සියයක පමණ වැසි ඇද හැලුණු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා පැවැසීය.

මහ වැසි හේතුවෙන් පීඩාවට පත්වූවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක පදිංචිකරුවන් යැයි ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඊයේ පස්වරුවේ නිකුත් කළ නිවේදනය අනුව ‍ෙදාළුව, පස්බාගේ කෝරළේ, උඩපළාත, දෙල්තොට, මැදදුම්බර සහ ගඟඉහළ කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දැඩි අවදානම් සහිත බව සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේය.

මිතුන් ජයවර්ධන,නොර්වුඩ් _ නීටා පත්ම කුමාරි,මහනුවර – කේ.එල්. සුරවීර