කඳුළු ගෑස් පැහැරගත් සිද්ධියේ සැකකාර තිදෙනා පෙරෙට්ටුවකට

0
11

පසුගිය 13 දින පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දුව මංසන්ධියේදී පැවැති උද්ඝෝෂණය අතරතුරදී පොලිස් ත්‍රිරෝද රථයකට පහරදී එහි තිබූ කඳුළු ගෑස් උණ්ඩ හා කඳුළු ගෑස් අත්බෝම්බ පැහැරගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු පෙරෙට්ටුවක් සඳහා ලබන 8 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (3දා) නියෝග කළේය.

ඒ අනුව සැකකරුවන් තිදෙනා හ¾දුනාගැනීමේ පෙරෙට්ටුවකට ආවරණ සහිතව  ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයා වෙත  නියම කළේය.

රාජගිරිය හා පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනකු මෙලෙස අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පළමු සැකකරු සන්තකයේ තිබී කඳුළු ගෑස් උණ්ඩ 55ද දෙවැනි සැකකරු සන්තකයේ තිබී එක් කඳුළු ගෑස් උණ්ඩයක්ද තුන්වැනි සැකකරු සන්තකයේ තිබී කඳුළු ගෑස් උණ්ඩ දෙකක්ද සොයාගත් බව වැලිකඩ පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

පසුගිය දහතුන් වන දින පාර්ලිමේන්තුව ආසන්නයේ පැවැති අරගලය අතරතුරදී පොලිසියට අයත් ත්‍රිරෝද රථයකින් එම ප්‍රදේශය ආසන්නයට කඳුළු ගෑස් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් මහජන සාමය ආරක්ෂා කිරිමේ කොට්ඨාසයේ නිලධාරීන් තිදෙනෙකුට අරගලකරුවන් පිරිසක් විසින් පහරදී ඇති බව වැලිකඩ පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

එහිදී පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරීන් එතැනින් ඉවත් වූ අවස්ථාවේදී යම්කිසි පිරිසක් විසින් ත්‍රිරෝද රථයේ තිබූ කඳුළු ගෑස් උණ්ඩ 360 හා කඳුළු ගෑස් අත් බෝම්බ 89 පැහැරගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වන බව වැලිකඩ පොලිසිය අධිකරණයට පැවැසීය.

හංසි නානායක්කාර