ඇමැති ඇසට වැලි ගසා නිලධාරීනුත් අන්දා කුණු මාළු කන්ටේනර් 98 ඉස්සුවාද?

0
55

මෙම වසර මුලදී ශ්‍රී  ලංකා මුහුදු තීරයේදී ඇතිවූ කාර්මික ‍ෙදා්ෂයක් හේතුවෙන් ගමනාන්තය වූ තායිලන්තය කරා රැගෙන යෑමට නොහැකිවූ මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට ශ්‍රී  ලංකාවේ පාරිභෝගික සේවා අධිකාරිය සහ ධීවර අමාත්‍යාංශය විසින්  නිර්දේශ කර තිබූ මසුන් කන්ටේනර් අනූඅටක් සැමන් හා කරවල නිෂ්පාදනයට වෙළෙඳපොළට පිටවීම වළක්වන ලෙස ඉල්ලා ධීවර  ප්‍රජාව නියෝජනය කරමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සමිතිය විසින් පසුගිය  ජුනි මස 20 වැනිදා කොළඹ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පැමිණිල්ල  ඉදිරිපත් කරමින් බලධාරීන් දැනුවත් කර තිබුණද මේ වන විටත් වෙනත් පාර්ශ්වයක් විසින් මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය කන්ටේනර් රථ අනූ අට මදුරන්කුලියේ පිහිටි සත්ත්ව ආහාර හා දියර පොහොර  නිෂ්පාදනය කරන ආයතනයක් වෙත මුදා හැර ඇතැයි ධීවර ප්‍රජාව වෙත තොරතුරු  වාර්තා වී ඇති අතර මේ පිළිබඳව වහාම සොයා බලන ලෙසත් කන්ටේනර් 98 පිළිබඳව සෙවිල්ලෙන් පසුවන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ශ්‍රී  ලංකා රේගු දෙපාර්තමේන්තුවේ  නිලධාරීන්ද පරිසර අධිකාරිය හා පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු අදාළ විෂය සම්බන්ධයෙන් රාජකාරියේ නිරත නිලධාරීන්  සිය අමාත්‍යාංශය වෙත ගෙන්වා ඉකුත් 26 වැනිදා සාකච්ඡාවක් පවත්වා උපදෙස් ලබාදී ඇත.

සීෂෙල්ස් රාජ්‍යයේ සිට තායිලන්තය දක්වා යාත්‍රා  කරමින් තිබූ බලයා සහ කෙලවල්ලන් මසුන් අසුරා තිබූ කන්ටේනර් එකසිය දෙකක් සහිත මෙම නෞකාව පසුගිය ජනවාරි මාසයේ දිනක ශ්‍රී  ලංකා මුහුදු තීරය ආසන්නයේ ගමන් කරමින් තිබියදී ඇතිවූ කාර්මික ‍ෙදා්ෂයක් හේතුවෙන් නෞකාවේ විදුලිය විසන්ධි වීම නිසා එහි අසුරා තිබූ මත්ස්‍ය තොගය නරක් වී ඇති අතර එම මසුන් සහිත කන්ටේනර් තොගය එහි හිමිකරු විසින්  රේගු අධිකාරිය වෙත පවරා සිදුවූ පාඩුව රක්ෂණයෙන් ලබා ගන්නා බව පවසා පිටව ගොස් ඇත.

මෙම මසුන් තොගය සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා පෑලියගොඩ මත්ස්‍ය  වෙළෙඳ සංකීර්ණයේ  පිහිටි මත්ස්‍ය අපද්‍රව්‍යවලින් සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ අංශය වෙත මුදා හරින ලෙස ලද නීත්‍යනුකූල අවසරයක් මත කන්ටේනර්  රථ හතරක මසුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ පිහිටි සත්ත්ව ආහාර නිෂ්පාදන අංගණයේදී  බලධාරීන් ඉදිරියේදී  සත්ත්ව ආහාර බවට පත් කර ඇත.

වරාය අංගණයේ ඉතිරිවූ  අනෙක් කන්ටේනර් අනූ අටෙන් බහාලුම් විසිතුනක් රේගුවේ මධ්‍යම අපහරණ අංශයට කූට ලේඛන ඉදිරිපත් කරමින් ප්‍රථම අදියරය ලෙස දියර පොහොර හා සත්ත්ව ආහාර නිෂ්පාදනයට යැයි පවසා ඉකුත් ජුනි මාසයේ අග පමණ මුදා ගෙන ගොස් ඇති බව කියන පුත්තලම් දිස්ත්‍රික්කයේ මදුරන්කුලියේ  මුක්කුතොඩුවාව ප්‍රදේශයේ පිහිටි ආයතනයක් මේ වන විට ඉතිරි මසුන් බහාලුම් තොගයද රේගුවෙන් මුදා ගෙනගොස් ඇතැයි පෑලියගොඩ මත්ස්‍ය  වෙළෙඳ සංගමය විසින් ධීවර අමාත්‍යාංශයේ  ලේකම් ඇතුළු බලධාරීන් වෙත ලිඛිතව දැනුම්දී ඇත.

 සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වෙත  මුදාහරින ලෙස ධීවර ඇමැතිවරයා  විසින් අනුමත කර තිබියදී  මෙලෙස වෙනත් පාර්ශ්වයක් විසින් මෙම නරක් වූ මසුන් කන්ටේනර් අනූඅට රේගුවෙන් මුදා ගෙන ඇත්තේ රාජ්‍ය නිලධාරීන් නොමඟ යවමින් මිලියන දෙසීයක් පමණ මුදල් වැයකොට කූට ලේඛන ඉදිරිපත් කිරීමෙන් යැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳුන්ගේ සංගමය විසින් ධීවර අමාත්‍යාංශය වෙත යවන ලද ලිපියේ සඳහන් කර  තිබේ.

මේ වන විට වැලිසර ප්‍රදේශයේ ගබඩාවක මෙම කන්ටේනර් බහාලුම් ගබඩා කර ඇති අතර ඒ තුළින් දුගඳ හමන බව ප්‍රදේශවාසීන් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පැමිණිලි කර ඇති බවටද තොරතුරු ලැබී ඇත.

එමෙන්ම මේ වන විට මෙම  නරක්වූ මසුන් මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට කරවල නිෂ්පාදනය සඳහා අලෙවි කර ඇති බවටද තොරතුරු ලැබී ඇති අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු මසුන්, කරවල නිෂ්පාදනයට අලෙවි කර මෙම කූට ජාවාරමෙන් මුදල් උපයන්නේද යන්න සොයා බලන ලෙස ධීවර ප්‍රජාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මෙම එක් බහාලුමක් තුළ මසුන් කිලෝ විසිපන් ලක්ෂයක් අසුරා තිබී ඇත.

කෙසේ නමුත් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු කරන ලද ඕනෑම ද්‍රව්‍යයක් මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ විනාශ කළ යුතුව ඇති බවත් මෙම ආයතනය  ප්‍රශ්නගත නරක් වූ මසුන්ගෙන් දියර පොහොර හෝ සත්ත්ව ආහාර  නිෂ්පාදනය කළේ නම් එයට සාක්ෂි ලෙස එකම සේයාරුවක් හෝ ඉදිරිපත් කරන ලෙසත් මෙම අකටයුතු ක්‍රියාවට එරෙහිව ඉදිරිපත් වී සිටින පිරිස අභියෝග කරති.

කැලණිය _ කුසුම් එස්. හැන්නදි