ආදිවාසි ගෝත්‍රයක කතක් ඇවිත් මුල් පුටුවට ඉන්දියාව පෙරමුණේය අපේ එවුන් ගල්යුගේය

0
83

ඉන්දියාවේ ජනාධිපති පදවියට පත්වන්නා එරට රාජ්‍ය නායකයාය. එහෙත් ඔහුට හෝ ඇයට විධායක බලතල නැත. ඒ නිසා බලවත් වන්නේ අගමැතිවරයාය. ජනාධිපති තනතුර ගෞරවාන්විත එකක් සේම රාජ්‍යයේ නායකත්වය සංකේතවත් කරන්නක්ද වන නිසා එහි වැදගත්කමක් නැතැයි මින් අදහස් නොකෙරේ. එවන් ගරු කටයුතු තනතුරකට පත් වන්නාට සමාජයෙන් හා රාජ්‍යයන්ගෙන් පැසසුම්  හා ගෞරවයන් නිරතුරුව ලැබෙයි. ඒ අංක එකේ පුරවැසියා වන නිසාය.

එවැනි තනතුරකට පත් වන්නා දේශපාලනයේ තෙම්පරාදු වූවකු මෙන්ම සමාජයේ ඉහළ පෙළැන්තියක, ප්‍රභූවරයකුම විය යුතුයි යන මානසිකත්වය තිබෙන්නේ අප රටේ වුවද ඉන්දියාව තමන්ගේ රාජ්‍යයේ නායකයා තෝරන්නේ අපටත් වඩා ඉදිරියට යමින් කිසියම් ප්‍රගතිශීලී ක්‍රමයකටය.

මින් පෙර කිහිප වතාවක් ඉන්දියාව ජනාධිපති තනතුරට එවන් වෙසෙස් තීන්දු, තීරණ ගත් නිසා ලෝකයම එරට ප්‍රජාතන්ත්‍රවාදයත්, එම ක්‍රමය ක්‍රියාත්මක කරවන්නට කැපවෙන ආකාරයත් පිළිබඳව පැසසුමෙන් කතා කළ අයුරු අමතක කළ නොහැකිය. අබ්දුල් කලාම් මුස්ලිම් ජාතිකයකු වුවද ඔහුව ජනාධිපති තනතුරට ඉන්දියාව පත් කළේ නොපැකිළවය.

පසුගියදා (25දා) ඉන්දියාව තවත් ඉදිරි පියවරක් තබමින් එරට ආදිවාසීන් නියෝජනය කරමින්, එකී සම්භවයක් සහිත කාන්තාවක් එම තනතුරට තෝරා ගත්තේ නොපැකිළවය. ඇය හා තරගයට තවත් අය සිටියා වුවද භාරතීය ජනතා පක්ෂයේ තේරීම හා ඡන්දයෙන් පත් කිරීම සිදු වූයේ ඇයව පත් කරගන්නටය.

64 හැවිරිදි ඇය ද්‍රෞපදී ඔඩිෂාය. ඇය ඔරිස්සා ප්‍රාන්තයෙන් පැමිණි අතර, හිටපු ගුරුවරියක මෙන්ම ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරයක් ඉසිලූ තැනැත්තියකද වන්නීය.

සාමාන්‍යයෙන් ජනාධිපති තනතුරට ඉන්දියාව යම් අයකු තෝරා ගන්නේ එරට උභය මණ්ඩලික පාර්ලිමේන්තුව, ප්‍රාන්ත සභා සහ ෆෙඩරල් පාලනය යටතේ ඇති සාංගමික බලප්‍රදේශ නියෝජනය කරන සාමාජිකයන් මඟිනි.

ද්‍රෞපදී හා තරගයට පැමිණියේ, ප්‍රතිවාදී අපේක්‍ෂකයා වූයේ ප්‍රවීණ දේශපාලනඥයකු වන යෂ්වන්ත් සිංය. ඔහු ප්‍රභූ තැනැත්තෙකි. චරිතයකි. එහෙත් ඔහු පරදා ඇය ජයගත්තේ පහසු තරගයක් දෙමිනි. ඔහුද බලගතු චරිතයකි. හෙතෙම භාරතීය ජනතා පක්ෂයෙන් අගමැති පදවියට පත් අතල් බිහාර් වජ්පායිගේ රජයේ හිටපු ඇමැතිවරයෙකි. යෂ්වන්ත් සිං මේ වන විට භාරතීය ජනතා පක්‍ෂයේ නරේන්ද්‍ර මෝදි ඇතුළු රජය දැඩි ලෙස විවේචනය කරන්නෙකි.

ද්‍රෞපදී පත්වන්නට පෙර ජනාධිපති පදවිය හෙබවූයේ රාම්නාත් කෝවින්ද්ය. පසුගිය 24 වැනි දිනට ඔහුගේ ධුර කාලය අවසන් වූයේය. ඉන් පසු එම වරම ලැබුණේ ද්‍රෞපදීටය.

ජනාධිපති ධුරය හිස්වන බව දැනගත් වහාම භාරතීය ජනතා පක්ෂය එම තනතුර සඳහා 20 දෙනකුගේ නම් සැලකිල්ලට ගත්තේය. ඒ සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡාද කෙරුණේය. ද්‍රෞපදී තෝරා ගත්තේ ඉන් අනතුරුවය.

ද්‍රෞපදී පවා එම තනතුරට තමන්ව නම් කෙරෙනු ඇතැයි විශ්වාස නොකළ බවත් සිය නාමයෝජනාව රූපවාහිනියෙන් දැනගත් විට ඇය පුදුමයට පත් වූ බවත් පැවැසුවාය. ඇය ඉන්දීය මාධ්‍ය වෙත ඒ බැව් කීවේ මෙසේය.

“ඉන්දියාවේ ඉතා අෑත දුෂ්කර පෙදෙසක් වුණු මයුර්ඛන්ජ් දිස්ත්‍රික්කයෙන්, ආදිවාසී සම්භවයක් ඇති පවුලකින් මතු වූ කාන්තාවක් වන මට, මේ ඉහළම තනතුරට පත්වන්නට, එහි අපේක්‍ෂකයෙක් වන්නට හැකි වේවිය කියා අදහසක් තිබුණෙම නෑ.”

නරේන්ද්‍ර මෝදි තමන්ගේ බිම් මට්ටමේ ජනතාවට උත්තේජනයක් සැපයූ තීන්දුවක් ගත් බවට වූ අදහස් කිහිපයක් ඉන්දීය පුවත්පත්වල පළ වී තිබුණේය. එම නාමයෝජනාව භාරතීය ජනතා පක්ෂය තුළින් ගැනීම අගයන්නට ඔඩිස්සා ප්‍රාන්ත දේශපාලන නායකයෝ පෙළගැසී සිටීමෙන්ම එය තහවුරු වෙයි. සමාජයේ පහත් තැන්වල දුක් විඳින ජනතාව මෙය තමන්ගේ මිනිසුන්ට ගෞරවයක් කළා හා සමානව සලකන්නට පෙලඹෙනු ඇති බව ඇතැම් විචාරකයෝ කියා පෑහ.

ද්‍රෞපදී ගැන දන්නා, ඇය මුල් කාලයේ මතු වූ ආකාරය හඳුනන පක්ෂ සගයකු වූ කබී විෂ්ණු සක්පති පැවැසූවක් මෙසේය.

“ඇය සැබැවින්ම කරුණාවන්ත තැනැත්තියකි. ඇයට හොඳ හදවතක් තිබෙනවා. අහංකාර හෝ කිපෙනසුලු අයකු නොවේ. පුහු මාන්නයක් නෑ. මිනිස්සු එක්ක නිදහසේ හැසිරෙනවා. ගැවසෙනවා. නිහතමානියි. දේශපාලනඥයකු වශයෙන් මිනිස්සු එක්ක ඉන්නෙ කොහොමද කියලා ඇය දන්නවා”

මේ සමඟ ඉන්දියාවේ උප ජනාධිපති තනතුර වෙනුවෙන් ලබන මසදී එරට නීති සම්පාදකයන් ඡන්දය ප්‍රකාශ කිරීමටද නියමිතය. එය විවාදාත්මක එකක් බැව් දැන් සිටම පෙනෙන්නට තිබේ. භාරතීය ජනතා පක්ෂයෙන් දැනටමත් ජේ‍යෂ්ඨ නායකයකු වන, බටහිර බෙංගාලයේ වත්මන් ආණ්ඩුකාර ජග්දීප් ඔන්කර් සිය අපේක්ෂකයා වශයෙන් නම්කර ඇත. විරුද්ධ පක්ෂය එනම්, කොංග්‍රස් පක්ෂය සිය අපේක්ෂකයා වශයෙන් ෆෙඩරල් අමාත්‍ය තනතුරු දරා ඇති මාග්‍රට් අල්වා ඉදිරිපත් කර ඇත.

ඇත්තෙන්ම විවාදාත්මක ජනාධිපති වුණේ නාමකරණයකට බඳුන්ව, ඉන් ජයගත් ඉන්දියාවේ ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබූ “ද්‍රෞපදී මුර්මු” කවරෙක්ද? ඇය පාර්කන්ඩි ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ලෙස 2017 සිටිද්දී ඇයව එකල ජනාධිපතිවරණයට නම් කරන්ට නියමිත බවට වූ කටකතා පැතිරෙන්නට පටන් ගැනීම ඇය පිළිබඳව කතා බහක් ඇති කළ මුල්ම අවස්ථාව බැව් කියැවේ.

1958 මයුර්භාන්ජ් දිස්ත්‍රික්කයට අයත් බයිඩපෝසි ගම්මානයේ උපත ලද ඇය ඉන්දියාවේ විශාලතම ආදිවාසී සම්භවයක් ජන ප්‍රජාවක් වන “සන්නාල් ප්‍රජාවට” අයත් තැනැත්තියකි. ගම් සභාවේ ප්‍රධානියා ඇයගේ පියාය. ප්‍රාන්ත අගනුවර වන භුබනේස්වර්හි පිහිටි රාමදේවි කාන්තා විදුහලෙන් සිප්සතර හදාරා ඇත. එහෙත් ඇය මූලික අධ්‍යාපනය ලබා තිබෙන්නේ ගමේ පාසලෙන් බවට වන කතා බහුලය.

1980 වසරේ සිට ඇය පිළිබඳව දන්නා, ඇය හඳුනන මාධ්‍යවේදිනියක් මෙන්ම සමාජ ක්‍රියාකාරී තැනැත්තියකද වන නිගමන්දා පන්නායික් පැවසූවක් මෙසේය.

“ද්‍රෞපදී කුඩා කාලයේ ඇයගේ පියා ඇයව අරන් ගියා ඔඩිෂා ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ සංචාරයක් සිදුවන තැනට. ඒ රායිපූර් නගරයයි. එහි වූ වේදිකාව මතට නැඟුණු ද්‍රෞපදී ඇමැතිවරයා දෙස බලා ඔහුට ඇසෙන්නට කෑ ගසා කීවේ තමන්ට භුබනේස්වල ඉගෙන ගන්න ඕනෑ බවයි. ඇගේ උනන්දුව දැක පැහැදුණු ඇමැතිවරයා ප්‍රාන්ත අගනුවර රජයේ පාසලකින් ඇයට ඉඩක් ලබා දෙන්නට පියවර ගත්තා. එහෙම තමයි ඇයගේ උනන්දුව, කැපවීම, උත්සාහය එදා පටන් මතු වූයේ.”

දැනුමින් සන්නද්ධ වන්නට ඇය පුළුවන් තරමින් බාධක බිඳගෙන ඉගෙන ගත් අතර එහි ප්‍රතිඵලය වුණේ ඔඩිෂා ආණ්ඩුවේ ලිපිකාරිනියක ලෙස සේවය ඇරැඹීමයි. එමෙන්ම 1979 – 1983 අතර කාලයේ ඇය වාරිමාර්ග හා බලශක්ති දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සහායිකාවකද විය. එහෙත් තම සැමියාගේ මවගේ බලකිරීම මත රැකියාවෙන් අස් වූ ඇය, සිය පවුල රැක බලා ගන්නා අරමුණින් රායිනේශ්පූර් වෙත පැමිණි අතර එහි ශ්‍රී  ඔරොබින්දෝ පාසලේ ගුරුවරියක ලෙස සේවය ඇරැඹුවාය.

නමුත් ඇය කොයි වගේ තැනැතතියක්දැයි කියනවා නම් ඇගේ වදනින්ම එය මෙසේය.

“මේ පාසලේ ලැබුණු වැටුප මං භාර ගත්තේ නෑ. මොකද මේක රැකියාවක් නොව මහජන සේවයක් විදිහටයි මං සැලකුවේ. නමුත් මට පාසලට එන්නට ලැබෙන කුලී රථ ගාස්තුව විතරක් ගත්තා. මගේ සැමියා බැංකු නිලධාරියෙක්. එයාගෙ වැටුප අපට ජීවත් වෙන්න පුළුවන් තරම්.”

ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ 1997 වසරය. එම වසරේ රායිනේශ්පූර්හි පැවැති ප්‍රාදේශීය සභා ඡන්දයකින් ඇයට නියෝජිතවරියක ලෙස තේරී පත්වන්නට වරම් ලැබිණි. ඇය එම ජනතා නියෝජන තනතුරට ගෞරවයක් එක් කළාය. ඒ දිනවල නගරයේ කැළිකසළ ඉවත් කරන තැන්වලට ගිය ඇය කානු පවිත්‍ර කිරීම් මෙන්ම කැළිකසළ ඉවත් කරන තැන්වල අව්වැසි නොතකා රැඳෙමින් එහි සේවකයන් උනන්දු කරමින් හැසිරුණු හැටි ඇගේ පත්වීමත් සමඟ පුවත්පත් කිහිපයක් අතීත සැමරුම් සිහිපත් කරවමින් පළකොට තිබිණි.

එම ඇරැයුම ඇයට ශක්තිමත් ගමනක් යන්නට ඉඩහසර සැපයූ බවක් පෙනෙයි. 2000 සහ 2009 දී රායිනේශ්පූර් අසුනින් භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකාවක ලෙස ඇය ප්‍රාන්ත සභාවට තේරී පත් වූවාය.

නවීන් පන්නායික්ගේ නායකත්වයෙන් යුත් බිජු ජනතා දුල් පක්ෂයේ ප්‍රාන්ත සභා ආණ්ඩුව තුළ 2000 වසරේ සිට 2004 දක්වා ඇය අමාත්‍ය තනතුරක් දැරූ අතර මුදල්, වාණිජ හා ප්‍රවාහන විෂයයද අනතුරුව ධීවර හා සත්ත්ව සම්පත් විෂය භාර ගෙන කටයුතු කළාය.

ඉන්දීය ව්‍යවස්ථාවෙන් “උප ලේඛනගත ගෝත්‍ර” ලෙස හඳුන්වන්නේ සමාජයේ ආර්ථිකමය අවාසි සහගත තත්ත්වයනට පාත්‍ර වී ඇති ගෝත්‍ර ප්‍රජාවන්ය. එම ගෝත්‍ර වෙනුවෙන් කටයුතු කෙරෙන ප්‍රාන්තීය ඒකකයේ සභාපති පදවිය දරමින් ඇය 2006 සිට 2009 දක්වා ඉතා ඉහළ සේවයක් සලසා තිබීම ඇය පිළිබඳව අවධානය දිනාගත් දෙයක් විය.

ද්‍රෞපදීගේ ජීවිතය දුකින් පිරුණු එකක් වුවත් ඇය ඒ දුක මැදින් ජනතා සේවයට කැපවීම වැදගත්ය. සිය වැඩිමල් පුත්‍රයා අබිරහස් ලෙස මියයෑමත්, දෙවැනි පුත්‍රයා හා තම සැමියාද හදිසියේ මියයෑමත් ඇය දරාගත්තාය. “ජීවිතේ කිසිවක් ඉතිරි වී නෑ.” යනුවෙන් කී ඇය ඒ මතින් නැඟිට්ටාය. 2018දී යාබද පාර්කන්ඩි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස ද පත් වූ අතර 2021 ජූලි මාසය වන තෙක් වසර හයක කාලයක් එම තනතුර හෙබවූවාය.

මෙවන් චරිත බිහි වන්නේ, මතුවන්නේ කලාතුරකින් වුවද ඉන්දියාව අපට වඩා පොහොසත් වන්නේ ඉතා අඩු තැනකින් මතු වූ කාන්තාවකට සමාජයේ ඉහළම තැන පිරිනැමීම හරහාය. අපේ රටේ නම් තවමත් ගෝත්‍රික කාන්තාවෝ බැද්දේය. එහෙත් ඉන්දියාවේ ඇය ගෝත්‍රික සම්භවයක් සහිත වුවද අද ඉන්දියාවේ ජනාධිපතිනියය. වෙනස ඒකය.