අවස්ථාවාදීන් අවිහිංසාවාදී අරගලයට ප්‍රචණ්ඩත්වය එන්නත් කළා

0
37

මම භාරගත්තේ විපත්තියට ඇදවැටුණු රටක්. දරුණු ආර්ථික අර්බුදය එක පැත්තකින්. දැවැන්ත ජනතා විරෝධය තවත් පැත්තකින්. නමුත් රට වෙනුවෙන් මම එම අභියෝගය භාර ගත්තා යැයි නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය අරඹමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් අතුරෙන් බහුතර විශ්වාසය දිනාගත් පුද්ගලයා ලෙස මා පසුගිය 20 වැනිදා ජනාධිපති ලෙස තේරි පත්වුණා.  අද දිනයේ ජනාධිපති ලෙස මුල් වතාවට ඔබ අමතනවා.

මේ සභාව ශ්‍රී  ලංකාවේ විවිධ ජන කොටස් නියෝජනය කරනවා.  සිංහල හෝ වේවා, දමිළ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, බර්ගර් හෝ වේවා වෙනත් ජන කොටසක් හෝ වේවා ඔබ මෙතැනට රැස් වෙන්නේ ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුව ලෙසයි.

පාර්ලිමේන්තු නියෝජිතයන් තෝරා පත් කරගත්තේ විවිධ ජන කණ්ඩායම්වලට අයත් ජනතාව විසින්.  ඒ කුමන ජන කොටසක් නියෝජනය කළත් අප සියල්ලම කටයුතු කරන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙසයි.

අද මම ඔබ අමතන්නේ සෑම ශ්‍රී ලාංකිකයකුගේම ජනාධිපති ලෙසයි.

අපේ රට විවිධ සංස්කෘතීන්ට අයත්, විවිධ ආගම් අදහන, විවිධ භාෂා කතා කරන ජනතාවකගෙන් සමන්විතයි. සංස්කෘතික ඇවතුම් පැවතුම් පවත්වාගෙන යෑමට, ආගම් ඇදහීමට සහ තම මවු භාෂාව භාවිත කිරීමට සැමට ඇති අයිතිය ඔබේ ජනාධිපතිවරයා ලෙස මම ආරක්ෂා කරනවා.

ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමටත්, අනෙකුත් සියලු ආගම්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් මා බැඳී සිටිනවා.

අපට ආගමික, සංස්කෘතික, සමාජයීය වශයෙන් පමණක් නොව, ආර්ථික වශයෙන් ද ප්‍රෞඪ අතීත උරුමයක් දායාද වී තියෙනවා. එය විවිධ සංස්කෘතීන්වලින් පෝෂණය වී තියෙනවා.  සතරවරම් දෙවිවරු පිළිබඳ සංකල්ප, බුදුදහම හා සම්බන්ධ වෙන්නේ අන්න එහෙමයි.  මේ අතීත උරුමයන් පදනම් කරගනිමින් අනාගතය ගොඩනැංවීමේ වගකීම අද අපට පැවැරී තිබෙනවා.

මම භාරගත්තේ විපත්තියට ඇදවැටුණු රටක්,  දරුණු ආර්ථික අර්බුදය එක පැත්තකින්, දැවැන්ත ජනතා විරෝධය තවත් පැත්තකින්. නමුත් රට වෙනුවෙන් මේ අසීරු අභියෝගය භාර ගැනීමට මම තීරණය කළා.  ඒ, අ¾දුරට සාප කරමින් ඉන්නවාට වඩා එක පහනක් හෝ දැල්වීම රට වෙනුවෙන් මා කළයුතු යුතුකමක් සේ මා සැලකූ නිසයි.

අද අප මුහුණ දෙන්නේ නූතන ඉතිහාසයේ කිසි දිනෙක අපේ රට මුහුණ නොදුන් මට්ටමේ අතිශය බරපතළ ප්‍රශ්නයකට. අපි දැවැන්ත අනතුරකට ගොදුරු වෙලා.  ඒ අනතුරින් රට බේරා ගත හැක්කේ අප සියලු දෙනාම එකට එකතුවී මේ අභියෝගයට මුහුණ දුන්නොත් විතරයි. මේ පාර්ලිමේන්තුවේ සිටින ගරු මන්ත්‍රිවරුන් වගේම සමස්ත ජනතාවත් රට ගොඩනැඟීමේ වෑයමට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීම ඉතා වැදගත්.

රට ගොඩනැංවීම සඳහා පාර්ලිමේන්තුවේ           සියලු දෙනා එකට එක්වී කටයුතු කිරීම මේ අවස්ථාවේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තුවයි.  එකට එක්වුණොත් අපට ජාතිය ඉහළට ඔසවා තබන්නට හැකි වෙනවා. බෙදී වෙන් වුණොත්, පරිහානියට හා අසරණභාවයට පත්වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයන් පමණක් නෙවෙයි.  මුළු මහත් ජාතියමයි.

ඒ නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා එක්වන ලෙස මම යළිත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. මම ඔබ සැමට මිත්‍රත්වයේ හස්තය ගෞරවයෙන් දිගු කරනවා.  අතීතය පසෙකලා, රට වෙනුවෙන් එකට එක්වෙන්න කියා විශ්වාසයෙන් යුතුව ආරාධනා කරනවා. සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳ දේශපාලන පක්ෂ සමඟ පවත්වන සාකච්ඡා මම දැනටමත් ආරම්භ කර තියෙනවා.

මගේ වැඩපිළිවෙළ විමසා බලා, ඉන් පසුව සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට එකඟත්වය පළ කරන බව යම් යම් පාර්ශ්වයන් ප්‍රකාශ කර තිබුණා. ඒ පිළිබඳවත් මම අදහසක් පළ කරන්නට කැමැතියි. සර්වපාක්ෂික ආණ්ඩුවක් යනු එක් පක්ෂයක තනි මතයට ක්‍රියාකරන ආණ්ඩුවක් නොවෙයි. එය පොදු ප්‍රතිපත්ති රාමුවක් තුළ සියලු පර්ශ්වයන්ගේ අදහස් අනුව පෝෂණය වන ආණ්ඩුවක්. අප හැම දෙනාගේම අදහස් අනුව ක්‍රියාත්මක වන ආණ්ඩුවක්.  රට වෙනුවෙන් අප සියලු දෙනාම එකට එකතු වී ඉදිරියට ගෙන යන ආණ්ඩුවක්.

කඩිනමින් මේ දේශපාලන අර්බුදය විසඳාගෙන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක වැදගත්කම මම මේ සභාවට යළි යළිත් අවධාරණය කරන්නට කැමැතියි.

ආර්ථිකය කඩාවැටීම නිසා අපේ රට දේශපාලන අර්බුදයට ගොදුරු වුණා.  මේ අයුරින් අපේ ආර්ථිකය කඩා වැටුණේ ඇයි?

අපේ ආර්ථික ක්‍රමවේදයන් කෙසේ විය යුතු දැයි යන්න ගැන අපි දැන් දශක දෙක තුනක් තිස්සේ වාද විවාද කර ගන්නවා.  1977දී අප රටට නව ආර්ථික ක්‍රමයක් හ¾දුන්වා දුන්නා.  නමුත් කාලයට ගැළපෙන ලෙස එය නවීකරණය කර ගන්නට අප අසමත් වුණා.  ආර්ථිකය නවීකරණය කිරීම සඳහා අවධානය යොමු නොකර තරගකාරී, අදූරදර්ශී සහ විනාශකාරී පටු දේශපාලනයක නිරත වුණා.  යුක්රේන යුද්ධය, කොවිඩ් වසංගතය සහ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් කඩා වැටීම වැනි ජාත්‍යන්තරයේ සිදුවූ අවාසිදායක ආර්ථික සාධක අපේ අර්බුදය තවත් සංකීර්ණ තත්ත්වයකට ඇද දැම්මා.

මේ ප්‍රධාන හේතු සාධක නිසා අපේ රට පහළටම ඇද වැටුණා. ජනතාව අති මහත් දුෂ්කරතාවයන්ට ලක්වුණා. දැන් අපි වැටුණු තැනින් නැවත නැඟිටීමේ ක්‍රියාවලිය ආරම්භ කරලයි තියෙන්නේ.

මේ වන විට විදුලි කප්පාදුව අවම කර ගැනීමට අපට හැකි වී තියෙනවා.  වගා කටයුතු සඳහා ඉදිරියේදී අවශ්‍ය වන පොහොර ගෙන්වා ගැනීමේ වැඩකටයුතු දැන් සිදුකෙරෙමින් පවතිනවා. ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම පාහේ නිමවෙමින් පවතිනවා.  පෝලිම්වල රස්තියාදු නොවී සාමාන්‍ය පරිදි ගෑස් ලබා ගැනීමට තව ටික දිනකින් හැමෝටම පුළුවන් වෙනවා.  ආහාර හිඟයක් ඇති නොවීම සඳහා ආරක්ෂිත පියවර ගෙන තියෙනවා.  රෝහල්වලට අත්‍යවශ්‍ය බෙහෙත් හා වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීම ආරම්භ කර තියෙනවා.  පාසල් යළි විවෘත කිරීමට කටයුතු කර තියෙනවා.  කර්මාන්ත සහ අපනයන අංශයන්ට එල්ල වී ඇති බාධාවන් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටිනවා. 

යළි නැඟී සිටීමේ උත්සාහයේදී අපේ අසල්වැසි ඉන්දියාව ලබාදුන් සහාය පිළිබඳව මම විශේෂයෙන් සඳහන් කරන්නට කැමැතියි.  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප්‍රධාන ඉන්දීය රජය අපට ලබා දුන්නේ ජීවන හුස්මක්.  මම ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මෝදි අගමැතිතුමාටත්, ඉන්දීය රජයටත්, ඉන්දීය ජනතාවටත් ස්තුතිය පුද කර සිටිනවා. 

අද දවසේ අප ඉදිරියේ ඇති කෙටිකාලීන ප්‍රධාන ගැටලුව වෙන්නේ ඉන්ධන හිඟයයි.  ඉන්ධන ගෙන්වා ගැනීම සඳහා වෙනත් රටවලින් ණය ආධාර ලැබෙන තුරු බලා සිටීමේ ක්‍රමය අපි අවසන් කළ යුතුයි.  ඒ නිසා අපේ රටේ අපනයන ආදායම සහ විදේශ ප්‍රේෂණයන්ට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් අප ආරම්භ කරනවා. මෙහිදී ඉන්ධන සඳහා ගෙවීම් සමබර කර ගැනීම සඳහා තෝරාගත් ආනයන සීමා කිරීමට අපට සිදුවෙනවා.  අනික් අතින් ඉන්ධන සැපයීම සීමා කරන්න සිදුවෙනවා.  ඒ නිසා මේ අවුරුද්ද අවසන් වන තුරු මේ අපහසුකම් රට වෙනුවෙන් අපි දරා ගනිමු.

ආර්ථික අර්බුදය නිසා අපි හැමෝම විවිධාකාර දුෂ්කරතා අත්විඳිනවා.  පීඩාවන්ට ලක්වෙනවා.  දුක් විඳිනවා, කරදර විඳිනවා. මේ දුක් කරදර සහ පීඩාවලින් මිදීමේ මාර්ගය කරා මේ රට ගෙනයෑමට ඔබ සියලු දෙනාගේම සහාය ඇතිව මම කටයුතු  කරනවා.

මේ දුෂ්කරතාවයන්ගෙන් මිදීමට අප         දීර්ඝකාලීන විස¾දුම් කරා යා යුතුයි.  නැවත කිසි දිනෙක මෙවැනි ආර්ථික අර්බුදයක් අපේ රටේ ඇති නොවන පරිදි ශක්තිමත් පදනමක් දැමිය යුතුයි. ආර්ථිකය නවීකරණය කළ යුතුයි.  ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කර, තරගකාරී අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කළ යුතුයි.  ඒ සඳහා අවශ්‍ය වාර්තා, සැලසුම්, නීති – රීති, අණ – පනත් සහ වැඩසටහන් දැන් අප සකස් කරගෙන යනවා.

අද මම ඔබ ඉදිරියේ පැහැදිලි කරන්නේ අපේ ඉදිරි ගමන සඳහා පදනම් වන සැලසුම් රාමුවයි.  මේ රාමුව තුළ අප ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරියේ පාර්ලිමේන්තුවට ගෙනඑන අන්තර්කාලීන අයවැය සහ 2023 අයවැය ඔස්සේ ඉදිරිපත් කරනවා.

යළි නැඟී සිටීමේ මූලික පියවරක් වශයෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිවු අවුරුදු වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළා.  අගෝස්තු මාසයේ සිට අප ඒ සාකච්ඡා යළිත් ඉදිරියට ගෙන යනවා.  මූලික වටයේ මාණ්ඩලික සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි.

ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතනය සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැලසුම් දැන් අවසන් අදියරට පැමිණ තියෙනවා. මේ සැලැස්ම නොබෝ දිනකින් අප ජාත්‍යන්තර අරමුදලට ඉදිරිපත් කරනවා. ඉන්පසුව අපට ණය ආධාර ලබාදී ඇති රටවල් සමඟ සාකච්ඡා කරනවා.  අනතුරුව පෞද්ගලික ණයකරුවන් සමඟත් සාකච්ඡා අරඹනවා. ඔවුන් සමඟ එකඟතාවන්ට එළැඹෙනවා.

අවසානයේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති-රීති හා වැඩසටහන් සම්පාදනය කරනවා.  අපේ අතීත ආර්ථික උරුමය විදේශ වෙළෙඳාමයි.  අතීතයේ ශ්‍රී ලංකාව මුළු ලොවම දැන හ¾දුනා සිටියේ මුහුදු සේද මාවතේ පිහිටි ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙසටයි.  ශ්‍රී ලංකා විටෙක  පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූයේ ඒ නිසයි.  මුළු කලාපයේ තිබුණු සහල් ලොව පුරා බෙදා හරින මධ්‍යස්ථානය වුණේ ලංකාවයි. 

ඒ අතීත උරුමයන් යළි ස්ථාපිත කරමින් අපේ අවසාන ඉලක්කය වන්නේ ශක්තිමත් හා සංවර්ධිත හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. කාලගුණ විපර්යාස අනාගත ලෝකය මුහුණ දෙන දැවැන්ත ගැටලුවක් බව හ¾දුනාගෙන තියෙනවා. කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් අපි බිහි කළ යුතුයි. මහා පරාක්‍රමබාහු රජතුමා පැවසුවාක් මෙන් “අහසින් වැටෙන එක ජල බිඳුවක්වත් අපතේ නොයැවීමට” අප වගබලා ගත යුතුයි.

අද අපි මුහුණ දෙන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට ඇති නැති පරතරය පුළුල් වෙමින් යනවා.  මධ්‍යම පන්තිය හැකිළෙනවා.  තව පැත්තකින් ව්‍යාපාර සහ කර්මාන්ත බරපතළ අභියෝගයන්ට මුහුණ දෙනවා.  රැකියා අහිමි වෙමින් යනවා. 

පසුගිය කාලයේ විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන ප්‍රේෂණ ප්‍රමාණය පහළ වැටුණා.  ඊට හේතු කීපයක් තියෙනවා.  කොවිඩ් වසංගතය නිසා රැකියා ගණනාවක් අහිමි වුණා.  රැකියා සඳහා විදේශගත වන අය සීමා වුණා.  රුපියල කෘත්‍රිමව පාලනය කිරීම නිසා වෙනත් ක්‍රමවලින් ලංකාවට මුදල් එවීම වඩාත් වාසිදායක වුණා. දැන් ක්‍රම ක්‍රමයෙන් මේ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා.  බැංකු පද්ධතිය හරහා ලංකාවට මුදල් එවීම දිරිමත් කරලීමට අප පියවර ගන්නවා.

සංචාරකයන් වැඩිපුර පැමිණෙන්නේ අගෝස්තු මාසයේ සිට, මේ සංචාරකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා.

අපි ජනතාවගේ අයිතිය තහවුරු කරනවා.  රජයේ බලපත්‍ර ඉඩම් ලාභීන්ට සින්නක්කර ඔප්පු ලබා දෙනවා. රජයේ තට්ටු නිවාසවල ජීවත්වන අයට නිවාස අයිතිය ලබා දෙනවා.  ක¾දුකරයේ දමිළ ජනතාවගේ ගැටලු විසඳීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. 

ආර්ථික ස්ථාවර කිරීමේ වෑයමේදී සමාජයේ දුබල, අසරණ අඩු වරප්‍රසාදිත කොටස් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා.  රටේ ව්‍යවසායකයන්ට සිය කුසලතා ඔස්සේ ඉදිරියට පැමිණීමේ මාර්ග තව තවත් පුළුල් කරමින් ඔවුන් දිරිමත් කරනවා.

මම අනාගතය වෙනුවෙන් සිදු කළයුතු සාධනීය සමාජ වෙනස්කම් වෙනුවෙන් කැප වෙනවා.  නැවතත් පුළුල් මධ්‍යම පන්තියක් බිහි කරලීමට අවශ්‍ය පදනම සකස් කරනවා. සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ඔස්සේ ප්‍රතිලාභ සමස්ත සමාජයට සාධාරණව ලබා දෙනවා. 

මේ සඳහා සමාජ සාධාරණත්වය කොමිසමක් ස්ථාපිත කරන්නට  ද මම පියවර ගන්නවා.

මීට දශක හතර පහකට පෙරාතුව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳව ආර්ථික සංකල්පයක් පැවතුණා.  නමුත් එය අසාර්ථක හා ආකාර්යක්ෂම බව දැන් මුළු ලොවම පිළිගෙන තියෙනවා.  සමාජවාදී රටවල් වන චීනය සහ වියට්නාමය වැනි රටවල් පවා දැන් රාජ්‍ය ව්‍යවසාය ක්‍රියාත්මක කරන්නේ නෑ.  අපි තවදුරටත් මේ පැරණි සංකල්පයේ එල්ලී සිටියොත්, අපේ රට තවදුරටත් පහළට වැටීම වළක්වාලන්නට කිසිවකුට හැකි වන්නේ නෑ.  ඒ නිසා මේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ඉදිරියට ගෙනයා යුත්තේ කෙසේද යන්න පිළිබඳව අපට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සිදුවෙනවා.

මෙතෙක් ලෝකයේ ආර්ථික බලවතුන් වූයේ බටහිර රටවල්, නමුත් 21 වන සියවස නිමා වන්නට පෙර ලෝකයේ බලවත්ම ආර්ථිකය ඉන්දීය සාගර කලාපයට හිමි වෙනවා.  එවැනි පසුබිමක අපේ රටේ භූගෝලීය පිහිටීම අතිශය වැදගත්.  අප මේ වාසිදායක පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුයි.  මේ බැව් සිහි තබාගෙන අපේ අනාගත ආයතනික නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි. හැමදාමත් ණය ගනිමින් රටක් ගෙනයන්නට අපට බැහැ.  ණය ගැනීම් හැකිතාක් අවම කර ගැනීමට අප කටයුතු කළ යුතුයි.  ඒ නිසා ඉන්දීය සාගර කේන්ද්‍රිතය නව ආර්ථික බලයෙන් අපේ රටට උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි නීති – රීති හා ප්‍රතිපත්ති මම ඔබ සමඟ එකතු වී සම්පාදනය කරනවා.

ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීම උදෙසා වෙහෙසීමේදී සාම්ප්‍රදායික චින්තනයෙන් මිදෙන්න කියා මම සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.  නිකරුණේ වැඩි පොලියට වාණිජ්‍ය ණය ගනිද්දී නිසොල්මනේ බලා සිටි සමහර කණ්ඩායම්, රටට හිතකර ආයෝජනවලට විරුද්ධ වෙනවා.

කවුරුන් හෝ කියන දෙයක් සොයා බැලීමෙන් තොරව පිළිගෙන, විදේශ ආයෝජන සඳහා විරුද්ධ වීම නිසා අපේ රටට සිදුවුණු පාඩුව මිල කරන්න බෑ.   දූෂණ සහ වංචා නිසා රටට සිදු වූ අලාභයන් ගැන ජනතාව දන්නවා.  ඒත් බොරු බිල්ලන් මවාපාමින්, විදේශ ආයෝජන කඩාකප්පල් කරමින් රටට සිදු කළ පාඩුව ගණන් හදන්න බැරි තරම් විශාලයි.

මම උදාහරණ කීපයක් පමණක් ගෙනහැර දක්වන්නම්.

ඉන්දියාව සමඟ එක්වී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට සැරසෙද්දී ඉන්දියාවට ලංකාව විකුණනවා කියමින් සංවර්ධන ව්‍යාපෘතිය අඩාල කළා. එදා අපට තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කර ගැනීමට අවකාශ ලැබුණා නම්, අද ජනතාවට ඉන්ධන පෝලිම්වල දින ගණන් රස්තියාදු වෙන්නට සිදු වෙන්නේ නෑ.

සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කරද්දීත් ඒ හා සමානම විරෝධයක් පෑවා. සුවසැරිය ගිලන් රථවලින් රෝහලට ආවොත් අත්වෙන්නේ මරණය කියා කියමින් සමහර වෛද්‍යවරුන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවා.  නමුත් අප කෙසේ හෝ සුවසැරිය ආරම්භ කළ නිසා මේ වන විට ජීවිත දහස් ගණනක් ආරක්ෂා වී තියෙනවා.

සැහැල්ලු දුම්රිය සේවය ස්ථාපිත කරන්නටත්, වරාය වැඩි දියුණු කරන්නටත් ජපානය ඉදිරිපත් වූ අවස්ථාවේ ඊට විරුද්ධ වුණේ පදනම් විරහිත බොළඳ හේතු ගණනාවක් දක්වමින්. මේ නිසා අපේ රටට ලැබීමට තිබුණු ඩොලර් බිලියන 3කට අධික ප්‍රමාණයක් අහිමි වුණා.  ඒ් විතරක් නෙවෙයි.  ජපානය සහ ශ්‍රී ලංකාව අතර තිබුණු ඉපැරණි මිත්‍රත්වයත් දෙදරා ගියා.

මේ ව්‍යාපෘති අපට ලබාදීමට මූලිකත්වය ගත්තේ ශ්‍රී ලංකාවේ කුළුපග මිතුරකු වූ හිටපු ජපාන අගමැති ෂින්ෂෝ අබේ මැතිතුමා. එතුමන් පසුගියදා ඝාතන කෙරුණා. අපේ ආගමික විශ්වාසයන් අනුව මේ අවස්ථාවේ මම අබේ මැතිතුමාට පින් අනුමෝදන් කරන්නට කැමැතියි.

සංවර්ධන ආර්ථිකයක් කරා අප යන ගමන් මඟ වඩාත් ශක්තිමත් කර ගැනීමට නම් අප අතීතය පිළිබඳව විමසා බැලිය යුතු වෙනවා.  අපේ ආර්ථිකය මේ තරම් පහළ තලයකට ඇදවැටුණේ ඇයි?  ඝෘණාත්මක ප්‍රතිඵල අපට උරුම වුණේ ඇයි?   පුද්ගලයන් සිදුකළ වැරදි නිසාද?  එසේත් නැතිනම් ප්‍රතිපත්ති‍මය අඩුපාඩුකම් නිසාද? එක් එක් පුද්ගලයන්ට තමන්ට කැමති විදියට ආර්ථිකය හැසිරවීමට ඉඩ ලැබුණේ කොහොමද?  පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් විය හැකිද? කාලයෙන් කාලයට ප්‍රතිපත්ති වෙනස් කිරීම රටට හිතකරද? නැත්නම් අහිතකරද?

මේ තත්ත්වය අපි ගැඹුරින් විමසා බැලුවා. ඊට පිළියම් ලෙස ඉදිරි වසර 25 සඳහා අපි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරනවා.  දිළි¾දු හා අඩු වරප්‍රසාදිත කණ්ඩායම් රැක බලා ගනිමින් සහ ව්‍යවසායකයන් දිරිමත් කරමින් නිර්මාණය කරන්නා වූ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයකට අවශ්‍ය පදනම සකස් කරනවා.

2025 වෙද්දී ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් ඇති කරගැනීම අපේ ඉලක්කයයි.  ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම අපේ උත්සාහයයි.  2026 වෙද්දී ස්ථාවර ආර්ථික පදනමක් ඇති කරගැනීම අපේ අපේක්ෂාවයි. වර්තමානයේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 140ක්.  2032 වෙද්දී මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට වඩා අඩු මට්ටමකට ගෙන ඒම අපේ සැලසුමයි.

ඒ අයුරින් ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ, රටත්, ජාතියත්, ගොඩනැංවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙනගියොත්, 2048 වසරේ, 100 වැනි නිදහස් සංවත්සරය සමරන අවස්ථාවේ, පූර්ණ සංවර්ධිත රටක් බවට පත්වෙන්නට අපට පුළුවන් වෙනවා.

මම මේ වගේ දීර්ඝකාලීන ඉලක්ක සඳහා සැලසුම් සකස් කරද්දී සමහරු අවඥාවෙන් බලනවා.   උපහාස කතා කියනවා.  ඔව්.  මම වෙනත් දේශපාලනඥයන් වගේ නෙවෙයි.  මා ළඟ තියෙන්නේ දීර්ඝකාලීන සැලසුම්. මම සැලසුම් කරන්නේ මගේ අභිවෘද්ධිය වෙනුවෙන් නෙවෙයි. තරුණ පරම්පරාව වෙනුවෙනුයි. හෙට දවස වෙනුවෙනුයි.  මම අද දවසේ පැළ කරන ගසෙහි පලදාව මට භුක්ති විඳින්න ලැබෙන්නේ නැති බව මම හොඳින්ම දන්නවා.  ඒත් හෙට දවසේ අපේ දූ දරුවන්, අනාගත පරම්පරාව ඒ පලදාව භුක්ති විඳීවි.

අපේ රටේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද විශේෂ සඳහනක් කරන්නට මම කැමතියි.  විදේශ ප්‍රතිපත්තියේ අස්ථාවරත්වය නිසා අපට ජාත්‍යන්තර තලයේ බොහෝ අවාසි සහ පසුබෑම් සිදුවුණා. මම ඔබ සැමත් සමඟ එක්වී මේ තත්ත්වය වෙනස් කරනවා. ලෝකයේ හැම රටක්ම අපේ මිතුරන්.  අපට සතුරන් නැහැ.  අප කිසිම පිලකට අයත් නැහැ.  හැම රටක්ම සමඟ සුහද හා මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මම සහතික කරනවා.

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම උදෙසා ආර්ථික වර්ධනයට සමාන්තරව සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතු බව මම මීට කලිනුත් අවධාරණය කර තිබෙනවා.  අපේ රටේ ජනතාවත් දැවැන්ත දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් බලාපොරොත්තු වෙනවා.

අද සිදුවී ඇත්තේ කුමක්ද? දේශපාලන ක්‍රමවේදය හා දේශපාලනඥයන් පිළිබඳව ජනතා විශ්වාසය බිඳවැටී තියෙනවා.  රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ ජනතා අපේක්ෂා බිඳවැටී තියෙනවා.  පසුගිය කාලය පුරා අරගලයේ යෙදුණු ජනතාව මේ ක්‍රම පද්ධතියේ වෙනසක් ඉල්ලා සිටියේ ඒ නිසයි.

ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීමට අවශ්‍ය සියලු වෙනස්කම් සිදු කිරීමට මම පියවර ගන්නවා.  රට ඉල්ලා සිටින සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ මම සියලු දෙනාගේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරනවා.

ක්‍රමවේදයේ වෙනසක් ප්‍රාර්ථනා කරමින්, රට පුරා තැන තැන ආරම්භ වුණු අරගලය පසුව ගාලු මුව‍ෙදාරට කේන්ද්‍රගත වුණා. දිවයිනේ ප්‍රධාන නගර කීපයකටත් එය ව්‍යාප්ත වුණා.  මේ අරගලය ඉතා අවිහිංසාවාදී ලෙස හා නිර්මාණශීලී ලෙස පැවැත්වුණා.  මේ අරගලකරුවන් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කළේ නෑ.  ඒ නිසාම තම තමන්ගේ විරෝධය පළ කිරීමට පවුල් පිටින් අරගලයට එක් වුණා. කුඩා දරුවන් පවා අරගල පැවැත්වූ ස්ථානයන්ට රැගෙන ඒමට  මවුපියන් බිය වුණේ නෑ.

වරෙක අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්තිවල චිත්‍ර ඇන්දා.  හැබැයි කිසිම හානියක් නොවන ආකාරයට. ඩිජිටල් ක්‍රමයට.  නමුත් පසුව මේ අවිහිංසාවාදය යටපත් වී ප්‍රචණ්ඩත්වය ඉස්මතු වුණා. යම් යම් කණ්ඩායම් අරගලයේ සාමූහිකත්වය යටපත් කරමින් අයිතිකරුවන් බවට පත්වුණා. ඔවුන් ආදරය වෙනුවට අරගලයට ප්‍රචණ්ඩත්වය එන්නත් කළා.  ත්‍රස්තවාදය කාන්දු කළා.

මම ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නෑ. නමුත් අවිහිංසාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා.

සාමකාමී ලෙස අරගලයේ යෙදීම මූලික මිනිස් අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකම මම පිළිගන්නවා.

මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරුවාලන්න උත්සාහ ගන්නවා.  නමුත් එය ඇත්තක් නෙවෙයි. සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයක අගතියක් සිදුවීමට මම ඉඩ දෙන්නේ නෑ.  සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මම විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා.

සාමකාමී අරගලකරුවකුට අසාධාරණයක් සිදු වුණොත්  ඒ කාර්යාංශයට දවසේ පැය 24 පුරා ඕනෑම වේලාවක දැනුම් දෙන්න පුළුවන්.  එවැනි දැනුම්දීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට විශ්‍රාමික විනිසුරුතුමකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවනවා.

නොදැනීමෙන් හෝ වෙනත් අයගේ බලපෑම් නිසා නීති විරෝධී ක්‍රියාවලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හෝ හවුල් වූ අය ඉන්නවා නම්, ඔවුන් වෙත සානුකම්පිතව ක්‍රියා කිරීමේ සැලැස්මක් සකස් කරනවා. 

නමුත්, චේතනාන්විතව නීතිය උල්ලංඝනය කරමින්, ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදී ක්‍රියාවන්හි යෙදුණු අයත් ඉන්නවා. ඔවුන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නවා.  නීතියට පිටින් කටයුතු කරන්නට කිසිවකුට මම ඉඩ දෙන්නේ නැහැ.  නීතිය ඔබටත්, මටත්, සියලු දෙනාටත් එකයි.

මැයි 09 වැනිදා සාමකාමී අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයන් සහ අරගලයට මුවා වී ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙනුත් එක ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා.  මේ ක්‍රියාවලියේදී කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොවීමට මම වග බලා ගන්නවා.

ඉන්ධන පිරවුම්හල් අසල ප්‍රචණ්ඩත්වය පතුරවන කණ්ඩායම් සිටිනවා. දවස් ගණන් පෝලිමේ සිටින ජනතාවට තෙල් ලබා ගැනීමට ඉඩ නොදී, බලහත්කාරයෙන් පෝලිමේ ඉදිරියට පැමිණෙන අය ගැන පැමිණිලි ලැබෙමින් පවතිනවා. එවැනි පාතාලකරුවන්ට ඉඩ දෙන්න බෑ. මේ අපි ඉන්ධන අර්බුදයට මුහුණ දෙන අවස්ථාව. මේ නිසා අපට සපයා ගත හැකි සීමිත ඉන්ධන ප්‍රමාණය සාධාරණ ලෙස බෙදී යා යුතුයි.  පෝලිම් පනිමින් ඊට බාධා කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද තදින් නීතිය ක්‍රියාත්මක කරන ‌ලෙස පොලිස්පතිවරයාට මම උපදෙස් ලබා දී තිබෙනවා.

අගෝස්තු මාසයේ බෞද්ධ සහ හින්දු ආගමික ප්‍රධාන උත්සව ගණනාවක් පැවැත්වෙනවා. අගෝස්තුවේ සංචාරකයන් පැමිණීම වැඩි වීමට නම් උත්සවත් එක් හේතුවක්.  නමුත් රටේ කලබලකාරී පසුබිමක් ඇති කර මේ උත්සව කඩාකප්පල් කිරීමට යම් යම් කණ්ඩායම් උත්සාහ ගන්නා බවක් වාර්තා වෙනවා.  ආරක්ෂක අංශ මේ පිළිබඳව අවධානයෙන් සිටිනවා.  මෙ වැනි උගුල්වලට හසුවී රටේ අනාගතය විනාශ කිරීමේ වෑයමට දායක නොවන මෙන් මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

සාමකාමී ලෙස විරෝධය පෑම සඳහා දැනට කොළඹ නගර සභාවෙන් සහ මහනුවර නගර සභාවෙන් ස්ථාන වෙන්කර දී තියෙනවා. ඒ ස්ථානයන්හි  විරෝධය දක්වන අරගලකරුවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමටද නගර සභා කටයුතු යොදනවා. ඒ නිසා මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අනවසර ස්ථානයන්හි තවදුරටත් රැඳී නොසිටින ලෙසයි.  ඒ නිසා අනවසර ස්ථානයන්ගෙන් ඉවත් වී,  නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සහාය දක්වන ලෙස මම සාමකාමී අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.  ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීම සඳහා ඔබේ සහාය අප අපේක්ෂා කරනවා. 

ගාලුමුව‍ෙදාර අරගලයට සමගාමීව මඩකළපුවේදී අරගලයක් පැවැත්වුණා. දිනපතා ගාන්ධි ප්‍රතිමාව වෙත පා ගමනක් සංවිධානය කෙරුණා.  අපේ රටේ කාන්තා ක්‍රියාකාරිනියක් ලියූ ලිපියක, මඩකළපු අරගලයට එක් වූ ටිබෙට් ජාතික තාෂි චෝදප් ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශයක් උපුටා දක්වා තිබුණා. මම ඒ ප්‍රකාශය ඔබට ඉදිරිපත් කරන්න කැමතියි.

“මේ පා ගමනට එක්වීමෙන් ඔබ ඔබේ සහභාගිත්වය යළි තහවුරු කරනවා. ඔබේ විරෝධය වෙනස් ආකාරයකින් පළ කරනවා. ඔබේ සහභාගිත්වයෙන් පිළිබිඹු වන්නේ වර්තමානයේ සිදුවන දේ පිළිබඳව ඔබේ මතයයි.  ඔබ තෝරාගෙන ඇත්තේ මේ අර්බුද අවස්ථාවේ අවදියෙන් සිටීමයි. එසේ නොමැතිව හුදෙකලාව කම්පා වීම නොවේ. අර්බුදයක් තවත් අර්බුදයකින් විසඳිය නොහැකි බැව් අප දන්නවා.  අර්බුදය විසඳා ගත හැක්කේ සමඟියෙන් පමණයි.”

තාෂි චෝදප් ස්වාමීන් වහන්සේ පැවසූ පරිදි, අපි සියලු දෙනා එක්ව, සමඟියෙන් මේ අර්බුදය විසඳා ගත යුතු බව මම නැවතත් මේ සභාවට අවධාරණය කරනවා.  අපි එකට එ‍කතු වෙමු. 21 වැනි සියවසට අවශ්‍ය සමාජ, ආර්ථික හා දේශපාලන වෙනස්කම් සිදු කරමු.

එතැනදී සාධක කීපයක් කෙරෙහි අවධානය යොමු කරවන්නට මම කැමැතියි. මේ අර්බුද විසඳා ගනිමින් අප ඉදිරියට යා යුත්තේ කවර ආකාරයටද? ඒ ගමනේදී දේශපාලන පක්ෂවල වගකීම් මොනවාද? අපේ සාම්ප්‍රදායික දේශපාලන චින්තනයට කොටුවී මේ ගමන යන්න පුළුවන්ද.

දේශපාලන පක්ෂ ක්‍රමය පිළිබඳව අපට අලුතින් සිතන්නට වෙනවා. පක්ෂවල ක්‍රියාකාරිත්වයන් අනාගතයට ගැළපෙන අයුරින් යළි සකසා ගත යුතු වෙනවා.  දේශපාලනය කියා අද අප සිතා සිටින දේ, දේශපාලනය කියා අද අප සිදුකරන දේ, තවදුරටත් ඒ ආකාරයෙන්ම ගෙන යායුතුද කියා සිතා බැලිය යුතු වෙනවා.  දේශපාලන අධ්‍යාපනය පිළිබඳ ගැඹුරින් සලකා බැලිය යුතු වෙනවා.

1977 දී තරුණ තරුණියන් හැටියට අපේ අපේක්ෂා හා බලාපොරොත්තු ගණනාවක් සපරාලන නව ආර්ථිකයක් නිර්මාණය කර ගන්නට අපට හැකි වුණා.  දැන් අනාගතයට සරිලන නව ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට අපේ තරුණ පරපුරේ පූර්ණ දායකත්වය ලැබිය යුතුය.  ඔවුන්ගේ කුසලතා සීමා විය යුත්තේ අරගල බිමකට පමණක් නොවේ. රටේ ඉදිරි ගමන සඳහා ඔවුන්ගේ නිර්මාණ කුසලතා යොදා ගැනීමේ අවස්ථාවන් අප උදාකර දිය යුතුයි. ඉදිරි මැතිවරණයකදී වැඩි වැඩියෙන් තරුණ තරුණියන් මේ පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි.  ඉදිරි මැතිවරණය තරුණ පරපුරේ වාරය විය යුතුයි.  ඒ සඳහා ඉඩකඩ සැලසෙන පරිදි අලුත් ආකල්පවලින් සමන්විත අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය වීම ප්‍රමුඛතම කාර්යයක් ලෙස මා සලකනවා. 

වර්තමානයේ, මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, අධිකරණ සේවා කොමිසම ආදී සියල්ලෙහි සාමාජිකයන් පත් කිරීමේ පූර්ණ අයිතිය ඇත්තේ ජනාධිපතිවරයාටයි.  එය ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර තත්ත්වයක් නොවන බව මම කෙළින්ම කියනවා.  අපි ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි.  වර්තමානයේ ජනාධිපතිවරයා වෙත ලංකාවේ අතීත රජ කෙනකුට තිබූ  බලයටත් වැඩි බලයක් උරුම කර දී තියෙනවා.  එය වහාම වෙනස් කළ යුතුයි.

රටක ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජ කෙනකු හෝ දෙවි කෙනකු විය යුතු නෑ.  ඔහු හෝ ඇය පුරවැසියන් අතරින්ම කෙනෙක්. ඒ නිසා වෙනම කොඩි, වෙනම ලාංඡන, වෙනම ගරු සම්මානවලින් පූජනීයත්වයට පත් කළයුතු නෑ.

දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ආරම්භයක් ලෙස 19 වැනි සංශෝධනයේ තිබූ සියලුම සාධනීය අංගයන්ද අන්තර්ගත කොට 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.  ඒ සඳහා මේ ගරු සභාවේ පූර්ණ සහයෝගය මම අපේක්ෂා කරනවා. දේශපාලන ප්‍රතිසංස්කරණ කියාවලියේ ආරම්භයක් ලෙස 19 වැනි සංශෝධනයේ තිබූ සියලුම සාධනීය අංගයන්ද අන්තර්ගත කොට 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.  ඒ සඳහා මේ ගරු සභාවේ පූර්ණ සහයෝගය මම අපේක්ෂා කරනවා.

22 වැනි ආණ්ඩුක්‍රම සංශෝධන කෙටුම්පත දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙනවා.  මේ ගැන සාකච්ඡා කොට පොදු  එකඟතාවකට එළැඹීම වඩාත් සුදුසු බව මගේ හැඟීමයි.  අපට අවශ්‍ය සියලු දේ 22 වැනි සංශෝධනය මඟින් ඉෂ්ට කරගන්න බැරි වේවි. එය අපේ ප්‍රතිසංස්කරණ මාලාවේ මූලික පදනමක්. මේ සභාවේ සිටින අප සියලු දෙනා ඒකමතිකව එය සම්මත කර ගැනීම වඩාත් යහපත් ඉදිරි පියවරක් වේවි.

මා කලිනුත් සඳහන් කළ පරිදි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු වහාම ස්ථාපිත කිරීමට පියවර ගන්නවා. ඒ කමිටු මඟිනුත් සියලු දේශපාලන පක්ෂවලට රාජ්‍ය පාලනයට සම්බන්ධ වී එකට එක්ව වැඩ කිරීමේ අවකාශ උදා වෙනවා.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මේ පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාව මම දැනටමත් මෙම සභාවට ඉදිරිපත් කර තියෙනවා.

ඒ වගේම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවීමට මම ක්‍රියා කරනවා. ඉදිරි පියවර උදෙසා සියලු දෙනාගේම අවම පොදු එකඟතාවකින් යුතු වැඩපිළිවෙළක් මේ ජාතික සභාව ඔස්සේ සකස් කර ගැනීමට අපට පුළුවන් වෙනවා.

හේදභින්න වීම් නිසා අපේ රට අතීතයේ සිටම පසුබෑම්වලට ලක්වුණා. අපි ජන වර්ග වශයෙන් බෙදුණා. භාෂා වශයෙන් බෙදුණා. ආගම් වශයෙන් බෙදුණා. පක්ෂ වශයෙන් බෙදුණා. පන්ති වශයෙන් බෙදුණා. භූගෝලීය වශයෙන් බෙදුණා. කුල වශයෙන් බෙදුණා.

යම් යම් පාර්ශ්වයන් මේ බෙදීම් තව තවත් පුළුල් කළා. බලය ලබාගැනීමට මේ බෙදීම් පාවිච්චි කළා. බෙදා පාලනය කිරීමේ වාසි ලබා ගත්තා. ජන වර්ග ආගම් ආදී විවිධ බෙදීම් ඇති කරමින් බලය පවත්වාගෙන යෑමට උත්සාහ කළා.

1977දී දේශපාලනයට පිවිසුණු දා සිට මට අවශ්‍ය වුණේ මේ බෙදීම්වලින් තොරව ශ්‍රී  ලාංකේය අනන්‍යතාවකින් යුතු සමාජයක් බිහිකරලීමටයි. එක මවකගේ දරු කැලක් සේ සමඟිව වාසය කළ හැකි දේශයක් නිර්මාණය කිරීමටයි. මේ ව්‍යායාමයේ නිරන්තරව නිරත වීම නිසා මා දේශපාලන පරාජයන්ට ලක්වුණා. අන්තවාදී විවේචනයට ලක්වුණා. ජාතිවාදයට හා ආගම්වාදයට විරුද්ධව දිගින් දිගටම පෙනී සිටීම නිසා සමහර දේශපාලන පක්ෂ මාව ජාතිද්‍රෝහියකු හා ආගම් විරෝධියකු ලෙස අපවාදයට ලක් කළා.

ඒත් මම කිසි විටක මගේ ප්‍රතිපත්තියෙන් අෑත් වුණේ නැහැ. කිසි දිනක ඒ ප්‍රතිපත්තියෙන් මම අෑත් වෙන්නෙත් නෑ.

අද තරුණ පරපුරේ බහුතරයක් මගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය බව පිළිගෙන තිබෙනවා. ඔවුන් ජාතිවාදයට, ආගම්වාදයට එරෙහිව සටන් පාඨ කියනවා. සිංහල – දමිළ – මුස්ලිම් – බර්ගර් ආදී ජන වර්ග අතර සාමය අවශ්‍ය බව කියමින් උද්ඝෝෂණ කරනවා. දමිළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස්වලට සමානත්වයෙන් සැලකිය යුතු බව සිංහල තරුණ තරුණියන් කියනවා. දශක පහක පමණ කාලයක් තිස්සේ මම මේ සමාජයට පහදා දෙන්න උත්සාහ කළ සත්‍යය අද තරුණ පරපුර වටහාගෙන සිටීම මට සතුටට කරුණක්.

මේ තරුණ තරුණියන්ගේ සහයෝගයද ඇතිව මුළු රටම ඒ ප්‍රතිපත්තිය කරා යොමු කිරීමේ අවස්ථාව දැන් අපට උදා වී තියෙනවා. ජාති, ආගම්, පක්ෂ, කුල ආදී සියලු භේද තුරන් කර දමන්නට ඉඩ ලැබී තියෙනවා. ඒ භේද නිසා සමහර ජන කොටස් විඳින පීඩාවන් අවසන් කරන්නට අවකාශ සැලසී තියෙනවා. කුසලතාව හා හැකියාව මත පුද්ගලයකුගේ ඉදිරි ගමන තීරණය කිරීමේ පදනම තහවුරු කරලීමට අවකාශ සැලසී තියෙනවා. සෑම පුරවැසියකුටම නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට පසුබිම උදා වී තියෙනවා.

මෙහිදී දමිළ ජනතාව කාලයක් තිස්සේ මුහුණ දෙන ගැටලු සඳහා දේශපාලන විස¾දුමක් ලබාදීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. යුද්ධයේ පීඩාවන් නිසා ඔවුන් සමාජීය සහ ආර්ථික ගැටලු ගණනාවකින් පීඩා විඳිනවා. විසඳිය යුතු ඉඩම් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. උතුරේ සංවර්ධන කාර්යයන් පිළිබඳව අප අලුතෙන් සිතා බැලිය යුතු වෙනවා. විදේශයන්හි වෙසෙන ශ්‍රී  ලාංකික දෙමළ ජනතාව සමඟ සමීපව කටයුතු කරමින් ශ්‍රී  ලංකාව යළි නඟාසිටුවීමේ වැඩපිළිවෙළට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට ද අපි බලාපොරොත්තු වෙනවා.

අපේ රටේ ජනගහනයෙන් බහුතරය වන කාන්තාවන් තවමත් ස්ත්‍රී හිංසනය, ප්‍රචණ්ඩත්වය හා අනෙකුත් වෙනස්කම්වලටත්                  මදිපුංචිකම්වලටත් මුහුණ දෙනවා. මේ තත්ත්වය හා සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සමාජ හා දේශපාලන පියවර අප ගත යුතු වෙනවා.

ඒ වගේම අල්ලස, දූෂණය හා වංචාව මේ සමාජයෙන් මුළුමනින්ම තුරන් කිරීමත් අනිවාර්යය කාරණයක්. අල්ලස් හා දූෂණ මැඬලීමේ ජාතික ප්‍රතිපත්තියක් මම ක්‍රියාවට නංවනවා. මේ සම්බන්ධයෙන් නව නීති – රීති හා අණපනත් අධිකරණ අමාත්‍යාංශය විසින් සකස් කරමින් පවතිනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත් දූෂණ මැඬලීම පිළිබඳ එකඟත්වයට එළැඹෙනවා.

මේ සියලු කාර්යයන් ක්‍රියාවට නැංවීම සඳහා පරිපූර්ණ දේශපාලන ප්‍රතිසංස්කරණ මාලාවක් අවශ්‍යයි. ඒ ප්‍රතිසංස්කරණ මගේ ධුර කාලය තුළ මම සිදු කරනවා. හැබැයි මගේ තනි මතයට නෙවෙයි. තරුණයන්ගේ කාන්තාවන්ගේ සහ අනෙකුත් ජනතාවගේ අදහස් පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ එකඟත්වය සහිතව සිදුකළ යුතු සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කවරේදැයි තීරණය කිරීම උදෙසා ජන සභාවක් ස්ථාපිත කිරීමට මා පියවර ගන්නවා. දේශපාලන පක්ෂ විවිධ සංවිධාන සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු පුද්ගලයන්ගේ අදහස් විමසීමේ යාන්ත්‍රණයක් ජන සභා ඔස්සේ සකස් කරනවා. මේ සඳහා අදහස් ලබාදෙන මෙන් අරගලයට සම්බන්ධ වුණු තරුණ පරපුරටත් සම්බන්ධ නොවුණු තරුණ පරපුරටත් මම විශේෂයෙන් ආරාධනා කරනවා.

අපේ රටේ ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතුද? රටට වඩාත්ම ගැළපෙන ක්‍රමය කුමක්ද? ආණ්ඩු ක්‍රමය කවරාකාරයේ ප්‍රතිසංස්කරණයන්ට ලක් විය යුතුද? මේ ආදී සියලු කාරණා ජන සභා මඟින් සාකච්ඡාවට භාජන කරනවා. අදහස් විමසනවා. රටට වඩාත්ම ගැළපෙන ක්‍රමය පිළිබඳ ජාතික එකඟතාවකට එළැඹීමෙන් පසු ඒ ක්‍රමය ව්‍යවස්ථාපිත කර ක්‍රියාවට නංවනවා.

මේ ආකාරයෙන් ජාතික එකඟතාවකට එළැඹීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ පිළිබඳවත් මම යමක් පැහැදිලි කරන්නම්. අපේ රටේ ජනාධිපතිවරණ බොහොමයකදීම ඉදිරිපත් කෙරුණු ප්‍රධාන පොරොන්දුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. නමුත් ඒ පොරොන්දුව හරහා බලයට පැමිණි කිසිදු කෙනෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළේ නැහැ. අනෙක් අතට කෙනෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළත් ඊළඟට බලයට පත්වන පක්ෂයට යළිත් එය වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි ජන සභා ඔස්සේ පොදු ජාතික එකඟතාවන්ට එළැඹීම අත්‍යවශ්‍ය වන්නේ.

ජන සභාව පූර්ණ ස්වාධීනව කටයුතු කරන ආයතනයක්. ආණ්ඩුව ඊට අවශ්‍ය සම්පත් ලබා දෙනවා පමණයි. එහි කාර්යයන්ට හෝ තීරණවලට ආණ්ඩුවේ කිසිදු බලපෑමක් නැහැ. ජන සභාවේ සංයුතිය පිළිබඳවත් අපි විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට තීරණ ගන්නවා.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මේ වන විටත් ජන සභාව සම්බන්ධයෙන් අපට අදහස් හා යෝජනා ලබාදී තියෙනවා.

ජන සභාවේ කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව කරලීම සඳහා කලාපීය රටවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර බහුපාර්ශ්වීය සංවිධානවලින් සහාය ලබා ගැනීමටත් අවකාශ සලසා දෙනවා. නිරීක්ෂණ හෝ තාක්ෂණික උපදේශන මට්ටමින් ඒ සහාය ලබා ගැනීමට ජන සභාවට අවශ්‍ය අවකාශ තියෙනවා.

මේ අයුරින් සියලු දෙනාගේ අදහස් හා උපදෙස් ලබා ගනිමින් පූර්ණ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාකරමින් සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික සැලැස්මක් සකස් කිරීමේ වගකීම ජන සභාවට පැවරෙනවා. ඉතා කඩිනමින් මේ සැලැස්ම සකස් කරන මෙන් අප ජන සභාවෙන් ඉල්ලා සිටිනවා.

මිත්‍රවරුනි,

මම 1974 වසරේ තරුණ මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණියා. රටේ විවිධ තනතුරු දැරුවා. නින්දා – ප්‍රශංසා, යස – අයස මැද මගේ හෘද සාක්ෂියට එකඟව නිවැරැදි යැයි සිතෙන දේ රට වෙනුවෙන් සිදු කළා. ගෙවුණු වසර දෙක තුන තුළ රට ක්‍රමයෙන් අස්ථාවර තත්ත්වයකට පත්වනු මම අත්දැක්කා. ඒ සියල්ල දෙස ආපසු හැරී බලද්දී මගේ මතකයට එන්නේ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ කටපාඩම් කළ ලෝක ප්‍රකට සාහිත්‍යවේදියකු වන රුද්යාද් කිප්ලිං ලියූ ‘ඉෆ්’ නමැති කවි පෙළ.

එහි කොටසක් මම උපුටා දක්වන්නම්.

If you can meet with Triumph and Disaster
And treat those two impostors just the same;
If you can bear to hear the truth you’ve spoken
Twisted by knaves to make a trap for fools,
Or watch the things you gave your life to, broken,
And stoop and build ’em up with worn-out tools:
you’ll be a Man, my son!

“ජය හෝ පරාජය හෝ වේවා,

ඒ රැවටිලිකාර අවස්ථාවන් දෙකම එක ලෙස

පිළිගන්නට හැකි නම් ඔබට, අනුවණයන් රවටනු පිණිස වංචනිකයන් විසින් ඔබට පැවසූ සත්‍ය විකෘති කරනු ඉවසා දරා සිටින්නට හැකි නම් ඔබට;

විනාශ වූ කල, ජීවිත පරිත්‍යාගයෙන් ඔබ ගොඩනැංවූ සියල්ල

සන්සුන් සිතින් යුතුව අබලන් ආම්පන්නවලින්

යළිදු ගොඩනංවන්නට හැකි නම් ඔබට;

පුතුනි, ඔබ සැබෑ මිනිසෙකි.”

ඉතින්, අපි අවංක හදවතින් හා උදාර අපේක්ෂාවන්ගෙන් යුතුව අලුත් ගමනකට මුල පුරමු. සත්‍යයේ සහ නිදහසේ බීජ රෝපණය කරමු. වර්තමානයේ අප වෙත අනේක අවලාද සහ විවේචන නැඟෙන්නට පුළුවන්. නමුත් අප රෝපණය කළ සත්‍යයේ සහ නිදහසේ බීජ පැළවී, වැඩී පලදරන අනාගතයේ දවසක අප නිවැරදි බව සනාථ වේවි.

මගේ කතාව අවසන් කරමින් මම බුදුන් වහන්සේ දේශනා කළ අදහසක් ඔබට සිහිපත් කරන්න කැමැතියි. අවස්ථා ගණනාවකදී බුදුන් වහන්සේ මේ කරුණ අවධාරණය කළ බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා.

“අත්තදීපා විහරථ……”

තමා තමාට දීපයක් වෙන්න.

අපි අපිටම දීපයක් වෙමු. ඒ දීපාලෝකයෙන් ශ්‍රී  ලංකාද්වීපය  ආලෝකවත් කරමු.

ස්තූතියි.