අනතුරකට අත වනන අම්බලන්ගොඩ බන්ධනාගාර තාප්පය

0
30

අම්බලන්ගොඩ දේවානන්ද විදුහල අසල පිහිටි බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් නිල නිවාසය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල පිහිටි ඉඩමේ තාප්පය කඩා වැටීමට ආසන්නව පවතින බවත් එය කඩා වැටුණහොත් පාසල් දරුවන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට පවා අනතුරක් සිදුවිය හැකි බවත් ඊට පෙර වහාම මේ සඳහා ප්‍රතිකර්මයක් යෙදිය යුතු බවත් දේවානන්ද විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධායකවරයකු වූ රුවන් ප්‍රීති කුමාර මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු පරිපාලන නිලධාරි සාම විනිසුරු නිමල් කනගරත්න මහතා මෙසේ කීය. ඇත්තෙන්ම මෙම තාප්පය කොයි මොහොතක පාරට කඩා වැටෙයිද දන්නේ නෑ. හරිම අවදානම්. දැනටමත් පුපුරලා ගිහින් මහ පාරට ඇලවෙලා. කවුරු හරි රතු කොඩි දෙකක් දාලා තියෙනවා. ජනතාවට ඒවා තේරෙන්නේ නෑ. අනෙක පාසල් දරුවන් හා පන්ති යන දරුවන් රැසක් මේ පාරේ ගමන් කරනවා. ජීවිත හානියක් ඇති වන්නට පෙර මෙයට ප්‍රතිකර්මයක් යෙදිය යුතුයි. එහෙම දෙයක් වුණාට පස්සේ මොනවා කළත් වැඩක් නෑ.

මේ සම්බන්ධයෙන් පටබැඳිමුල්ල ග්‍රාම නිලධාරි රන්දික මධුෂාන් මහතාගෙන් විමසූ විට මෙසේ පැවැසීය. මේ සම්බන්ධයෙන් මටත් වාර්තා වී තිබෙනවා. මම ගිහින් බැලුවා. මම වහාම මේ අවදානම ගැන ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කළා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරිය විසින් නගාරාධිපතිවරයා හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුවත් කර තිබෙනවා. මේ සතිය ඇතුළත මේ ගැන විසඳුමක් ලැබේවි කියලා විශ්වාස කරනවායි කීය.

අම්බලන්ගොඩ _ ධර්මදාස සිරිවර්ධන