අගමැති කාර්යාලයට පැන්න අය ගැන තොරතුරු ඉල්ලයි

0
10

කොළඹ, මල්පාර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී දේපළවලට අනර්ථය සිදු කළ ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස හඳුනාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් රහස් පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය මහජනයාගෙන් ඉල්ලා සිටී.

ඒ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බව පොලිස් මූලස්ථානය කියයි.

ඉකුත් 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට අනර්ථය සිදුකර අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව සිද්ධියට අදාළව සමීප ආවේක්ෂණ දර්ශන හා විමර්ශනයේදී ලබාගත් වීඩියෝ දර්ශන ඇසුරින් දේපළ හානි සිදුකිරීමේදී ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස හඳුනාගත් මෙම පුද්ගලයන්ගේ නිශ්චිත අනන්‍යතාවන් තහවුරු කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතා ඇත.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මොවුන් සම්බන්ධ තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත හෝ වට්ස්ඇප් මඟින් හෝ අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසය.

ඒ අනුව එවන් තොරතුරක් වෙතොත් 0718594950, 0718594901, 0718594924 හෝ 0112422176 යන අංකවලට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කීර්ති මෙන්ඩිස්