DIMO වෘත්තීය පුහුණු උපකරණ නිෂ්පාදනයට පිවිසෙයි

0
21

ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන, මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය වෘත්තීය පුහුණු අධ්‍යාපනික ආයතනය වන ‘DIMO Academy for Technical Skills (DATS)’ හරහා පුහුණු උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා යොමු වී ඇත. මෙම නව මුලපිරීමට සමගාමීව GIZ සංවිධානයේ අරමුදල් සම්පාදනයෙන්, කිළිනොච්චියේ පිහිටා ඇති ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය (SLGTI) වෙනුවෙන් DATS ආයතනය විසින් පසුගියදා සුවිශේෂී ව්‍යාපෘතියක් දියත් කෙරිණි.

එහි දී මෝටර් රථ ආශ්‍රිත පාඨමාලා සඳහා Hybrid හා CVT ඇතුළු ගියර් පද්ධතිය ආශ්‍රිත පුළුල් පරාසයක් ආවරණය කරන නව පුහුණු උපකරණ හඳුන්වා දීම සිදු කෙරිණි. DATS විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ක්‍රියාකාරී මෝටර් රථවල විවිධ වාතාවරණයන් පාලනය කිරීමේ හා ඉන්ධන ඇතුළත් කිරීමේ සිමියුලේටර් සහ Wheel Alignment සඳහා විශේෂ සිමියුලේටර්ද සපයන ලද අතර, තාක්ෂණික දත්ත, පරිශීලක අත්පොත් හා මෙහෙයුම් පුහුණුව ලබා දීමද DATS ආයතනය මඟින්ම සිදුකිරීම විශේෂිතය.

එමෙන්ම DATS මඟින් මෝටර් රථ තාක්ෂණ පුහුණු පාඨමාලාවලට අමතරව, ගොඩනැඟිලි කළමනාකරණ ක්‍ෂේත්‍රයට අවශ්‍ය පුහුණු උපකරණ සැපයීමද සිදු කරයි.

මෙරට භාවිතා කරන බොහෝ පුහුණු ආකෘති හා සිමියුලේටර් යුරෝපීය නිෂ්පාදන වන අතර, එම නිෂ්පාදන මිල අධික වීම නිසා වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා ඒවා යොදා ගැනුණේ ඉතා අවම වශයෙනි. එමෙන්ම ඒ සඳහා මිල අඩු විකල්ප නිෂ්පාදන වෙළෙඳපොළ තුළ තිබුණද, ගුණාත්මකභාවය හා ප්‍රමිතීන් පිළිබඳ ගැටලු මතුවේ. මෙම ක්‍ෂේත්‍රය තුළ DATS ආයතනය සතු විශේෂඥතාව හා නවීන තාක්ෂණය නිසාම ඉහත ගැටලු නිරාකරණය කරමින් දේශීය පුහුණු ආයතනවල අවශ්‍යතාවන්ට සරිලන අයුරින් පුහුණු විසඳුම් ලබා දීමට DIMO සමත් වී ඇත.

පසුගිය වසර 30 තුළ DATS ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නවතම වෘත්තීය පුහුණු පාඨමාලා හ¾දුන්වා දීමට සමත් වී ඇත. එමෙන්ම DATS නිරන්තරයෙන් ජර්මානු තාක්ෂණයට අනුකූල, ප්‍රමිතියෙන් උසස් වෘත්තීය පුහුණු පාඨමාලා ලබාදීම වෙනුවෙන් කැපවී සිටියි.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවැසීය. “රටේ ආර්ථික සංවර්ධනයට වෘත්තීය අධ්‍යාපනය අත්‍යවශ්‍ය අංගයක්. එය DIMO හි තිරසර න්‍යාය පත්‍රයේ කොටසක් වගේම මේ රටේ ජනතාවගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම වෙනුවෙන් අප ගන්නා උත්සාහයේ වැදගත් කොටසක්. මෙම ක්‍ෂේත්‍රය ගුණාත්මකව සංවර්ධනය කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා.”

මෙරට තාරුණ්‍යයේ උන්නතිය උදෙසා දිගුකාලීන දැක්මක් සමඟින් ක්‍රියාත්මක වන DATS මෙරට වෘත්තීය අධ්‍යාපනය පුහුණු ආයතන, විශ්වවිද්‍යාල හා පාසල් පද්ධතිය වෙත උසස් තත්ත්වයෙන් යුත්, පුහුණු අවම මිලට සපයන්නකු ලෙස සිය හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට අරමුණු කරයි.