CIPM Sri Lanka සිවුවැනි කලාපීය අධ්‍යයන මධ්‍යස්ථානයක් ගම්පහදී අරඹයි

0
15

ශ්‍රී ලංකාවේ මානව සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන CIPM Sri Lanka සිය සිවුවැනි  කලාපීය අධ්‍යයන මධ්‍යස්ථානය ගම්පහ නගරයේදී උත්කර්ෂවත් අයුරින් පසුගියදා ආරම්භ කරන ලදී. ඒ අනුව ගම්පහ අවට සිසු සිසුවියන්ට මෙන්ම මානව සම්පත් වෘත්තිකයන්ට වෘත්තීය මානව සම්පත් කළමනාකරණ පාඨමාලා, මානව සම්පත් සංවර්ධන වැඩසටහන් සහ වෘත්තීය සංවර්ධන වැඩසටහන් සඳහා පහසුවෙන් සහභාගි විය හැකිය.

CIPM Sri Lanka සභාපති ජයන්ත අමරසිංහ මහතා අතින් සමාරම්භක උත්සවය ඇරැඹිණි. ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරියද විශේෂ අමුත්තකු ලෙස උත්සවයට සහභාගි විය. එසේම CIPM Sri Lanka නියෝජනය කරමින් කර්නල් සමන් ජයවික්‍රම (සභාපති යටිතල පහසුකම් සංවර්ධන), ක්‍රිස් ඔබේසේකර (ප්‍රධාන විධායක නිලධාරි), ජී. වීරතුංග (අධ්‍යක්ෂ – වෘත්තීය සහ අධ්‍යයන සම්බන්ධතා), හිමාලි දසනායක අධ්‍යක්ෂ (මෙහෙයුම්), යන මහත්ම මහත්මිහු සහ තවත් අමුත්තෝ රැසක් සහභාගි වූහ. මහනුවර, ගාල්ල සහ කුරුණෑගලට අමතරව ගම්පහ සිවුවැනි කලාපීය ශාඛාව ලෙස ක්‍රියාත්මක වෙයි.

“මානව සම්පත් කළමනාකරණ වෘත්තිකයන්ගේ දැනුම නව ලොවට ගැළපෙන ලෙස නිර්මාණය කරන අධ්‍යාපන ආයතනයක් වශයෙන් ශ්‍රී ලාංකේය මානව සම්පත් වෘත්තිකයන්ගේ ගුණාත්මකභාවය වර්ධනය කරන්න අපි සෑම විටම කටයුතු කරනවා. 1976 අංක 24 දරන පනතින් ස්ථාපනය කර පසුව 2018 අංක 31 දරන පනතින් වරලත් තත්ත්වයට පත්වුණ CIPM Sri Lanka මූලික දැක්ම නොවෙනස්ව ඉදිරියට රැගෙන යෑමට සමත් වී තිබෙනවා” CIPM Sri Lanka සභාපති ජයන්ත අමරසිංහ මහතා පැවැසීය.

වසර 60කට ආසන්න ඉතිහාසයක් සහිත CIPM Sri Lanka දේශීය මානව සම්පත් කළමනාකරණ අධ්‍යාපනයේ පුරෝගාමියකු සේම නව ප්‍රවණතා නිර්මාණය කළ ආයතනයක් ලෙස අවිවාදයෙන් සැලකේ. එහි දැක්ම, මෙහෙවර සහ වටිනාකම් කේන්ද්‍රගත වී තිබෙන්නේ මානව සම්පත් සංවර්ධනයේ ප්‍රගමනය සඳහා CIPM Sri Lanka ආසියානු පැසිෆික් මානව සම්පත් කළමනාකරණ සම්මේලනයේ සහ මානව කළමනාකරණ සංගම් ලෝක සම්මේලනයේද සමාජිකයෙක්ද වෙයි.