හොරෙන් ගෙනා රන් බඩු සහ ඇපල් දුරකථන තොගයක් කටුනායකදී දැලේ

0
22

තීරු බදු රහිතව ගුවන් මඟින් මෙරටට රැගෙන එන ලද රත්රන් සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථන තොගයක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපොළ ඒකකයට ඊයේ හැකි විය.  ඒ අනුව රත්රන් කිලෝ 3යි ග්‍රෑම් 158ක් ආභරණ ලෙස පැලඳ සහ ගමන් මලුවල සඟවා ගෙන පැමිණෙමින් සිටියදී සොයාගැනීමට එම ඒකකයේ නිලධාරීන්ට හැකි වී ඇත.

ඊයේ අලුයම් කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපොළ ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ. ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමට අයත් UL 226 යානයේ සිටි මගීන් 6 දෙනකු රේගු ප්‍රදේශය පසුකර පර්යන්තයෙන් පිටතට පැමිණෙමින් සිටියදී කළ සෝදිසියකට අනුව මෙම භාණ්ඩ සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් ඇපල් වර්ගයේ අයි ෆෝන් සංඛ්‍යාව 39කි. අත්අඩංගුවට ගත් හය දෙනාගෙන් දෙදෙනකු කාන්තාවන් වන අතර ඔවුන් අවුරුදු 40 හා 41 වයස්වල පසුවන්නන් බව කියයි. සැකකරුවන් සහ සැකකාරියන් වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපොළ රේගුව වෙත භාරදී ඇත.

කීර්ති මෙන්ඩිස්