හේමාස් රෝහල් සමූහය සෞඛ්‍ය සේවාවේ සිය යුතුකම් ඉටුකරමින් සුවහසක් රෝගීන්ගේ බලාපොරොත්තු නංවයි

0
41

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඕස්ට්‍රේලියානු සුවසේවා කවුන්සලයේ ප්‍රමිතිකරණය ලබාගත් මෙරට ප්‍රථම රෝහල වන හේමාස් රෝහල් සමූහය සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් රජයේ පොරොත්තු ලේඛනයන්හි සිටින රෝගීන්ට නව ජීවන හුස්මක් ලබා දෙමින් එම සැත්කම් වඩාත් සාධාරණ මිලකට සිදු කිරීමට පියවර ගෙන ඇත. මේ අනුව විවිධ සැත්කම් සිදු කර ගැනීමේ අපේක්ෂාවෙන් රජයේ රෝහල්වල ලියාපදිංචිව සිටින රෝගීන්ට තම විශේෂඥ වෛද්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ හේමාස් රෝහල් සමූහයට අයත් රෝහලකදී මෙම සැත්කම් සඳහා සහනදායී වට්ටමක් සහිතව වඩාත් සාධාරණ දැරිය හැකි මිලකට සිදු කර ගත හැකි වීම මෙහි විශේෂිත වාසියයි.

පවතින ආර්ථික හා සමාජ අර්බුදය හමුවේ අන්තර්ජාතික මට්ටමේ සුවසේවා වෙත පිවිසීමට මහජනතාවට ඇති අවස්ථාවන් සීමා සහිත වීම හමුවේ රටේ පුරවැසියන්ගේ සුවපත් බව සිය මූලික අරමුණ කරගත් හේමාස් රෝහල් සමූහය විසින් මෙම සුවිශේෂී පියවර ගෙන ඇත. විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ ඔෟෂධ හා වෛද්‍ය උපකරණ හිඟයකට මුහුණපාමින් සිටින අතර රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙහි වඩාත් අහිතකර බලපෑමට මුහුණ දී සිටියි. මේ තත්ත්වය අවබෝධ කර ගත් හේමාස් රෝහල් සමූහය සෑම ශ්‍රී ලාංකිකයකුටම ජාත්‍යන්තර මට්ටමේ සුව සේවාවක් වෙත ප්‍රවේශ වීමේ අයිතිය මෙම වැඩපිළිවෙළ මඟින් තහවුරු කර ඇත. පවතින අර්බුදකාරී තත්ත්වය තුළ රජයේ රෝහල්වලින් සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයන්හි විශාල පිරිසක් රැඳී සිටින අතර ඔෟෂධ හා වෛද්‍ය සැපයුම්වල පවතින අඩුපාඩු හමුවේ දෛනිකව රජයේ රෝහල්වල සිදු කෙරෙන සැත්කම් විශාල සංඛ්‍යාවක් සීමා කිරීමට සිදුව ඇත.

රටේ පවතින මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ ඉදිරියට පැමිණෙමින් හේමාස් රෝහල් සමූහය විසින් ලබා දෙන මෙම පහසුකම පිළිබඳව අදහස් දක්වන හේමාස් රෝහල් සමූහයේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ හිටපු සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා, “රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සෑම ක්ෂේත්‍රයන් මෙන්ම සුව සේවා ක්ෂේත්‍රයත් දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා.

මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවක් වන ඔෟෂධ සහ රෝහල් සේවා ක්ෂේත්‍රයද දැඩි අභියෝගයන්ට මුහුණදී සිටියද  පෞද්ගලික අංශයේ රෝහල් සමූහයක් ලෙසත් මෙරට ජනතාව වෙත අන්තර්ජාතික මට්ටමේ රෝහල් සේවාවක් වෙත ප්‍රවේශ වීමට ඇති අයිතිය තහවුරු කිරීමට කැපවී කටයුතු කරන රෝහල් සමූහයක් ලෙසත් මේ අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වෙත ලබා දිය හැකි ඉහළම දායකත්වය ලබා දීමට අපි නොපැකිළිව ඉදිරිපත් වන අතරම හේමාස් රෝහල් සමූහය මඟින් දියත් කර ඇති මෙම වැඩපිළිවෙළ මඟින් රජයේ රෝහල් ක්ෂේත්‍රය වෙත ඇති කර ඇති පීඩනය සමනය කිරීමටත් මෙම අර්බුදය හමුවේ බලාපොරොත්තු රහිතව දිවි ගෙවූ රෝගීන්ට නව ජීවන හුස්මක් ලබා දීමටත් අපට හැකිවීම හේමාස් රෝහල් සමූහයට ලැබෙන මාහැඟි ආශීර්වාදයක් බව මගේ අදහසයි” යනුවෙන් පැවසීය.