හෙක්ටයාර් 60,000ක බඩඉරිඟු වගා කිරීමේ සූදානමක්

0
23

එළැඹෙන මහ කන්නයේ දී මෙරට හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කිරීමට සියලු කටයුතු මේ වනවිට සකසා අවසන් කර ඇතැයි කෘෂිකර්ම ඇමැති  මහින්ද අමරවීර පැවැසීය. එමෙන්ම බඩඉරිඟු සඳහා ඉහළ සහතික මිලක් ලබා දීමටත් තීන්දු කර ඇති බවද  ඇමැතිවරයා සඳහන් කළේය.

එමඟින්  ගොවි ජනතාවට කිසිදු පාඩුවක් සිදුනොවන ආකාරයට සහතික මිල නියම කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු  අවධාරණය කළේය.

කෘෂි බීජ හා පැළ  නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ පසුගියදා  පැවැති සාකච්ඡාවකින් පසු ඇමැතිවරයා  මෙසේ කීය.

වී ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබා  දුන්නාක් මෙන් බඩඉරිඟු ගොවීන්ටද යුරියා පොහොර සහනාධාර මිලකට ලබා දීමටද පියවර ගන්නා නිසා  සියලු ගොවීන් බඩඉරිඟු වගා කිරීමට සූදානම් වන්නැයි ද කෘෂිකර්ම ඇමැතිවරයා ඉල්ලීමක්  කළේය.

එමෙන්ම ඒ් සඳහා අවශ්‍ය  කෘෂි යෙදවුම් වන යන්ත්‍ර, පොහොර, බීජ ආදිය සියලු පහසුකම් ලබා දීමට සැලසුම් කර තිබෙන බව හෙතෙම පැවැසීය.

දියර කිරි, බිත්තර හා කුකුළු මස් මිල ගණන් වෙළෙඳපොළේ  ශීඝ්‍රයෙන්  ඉහළ යෑමට ප්‍රධාන  හේතුව සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය   බඩඉරිඟු හිඟවීම බවත් බඩඉරිඟු ආනයනය කිරීමට ප්‍රමාණවත්  තරම් විදේශ විනිමය නොමැති වීමත් විදේශ විනිමය ඇතත් බඩඉරිඟු වගා කරන රටවල් තම නිෂ්පාදන අපනයනය කිරීමට කටයුතු නොකිරීම නිසා ඒවා ලබා ගැනීමේ අපහසුතාද පවතින  බවත් එහිදී අනාවරණය විය.

මේ නිසා අපේ රටට අවශ්‍ය  බඩඉරිඟු වගා කර ගැනීම විනා වෙනත් විකල්පයක් නොමැති හෙයින්  මාස් කන්නයේදී බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය  සම්පූර්ණ බීජ ප්‍රමාණය  ලබා දීමට  කෘෂි බීජ වගාකරුවන්ගේ සංගමය එකඟත්වය පළ කර තිබේ.

මෙතෙක්   රටට අවශ්‍ය  බඩඉරිඟුවලින් සියයට 80ක් පමණ ආනයනය කළ අතර රට තුළ වගා කිරීම් සිදු කළේ අවශ්‍ය   ප්‍රමාණයෙන්  සියයට විස්සක පමණ ප්‍රමාණයක් බව අමාත්‍යාංශය සඳහන් කර ඇත.

නිර්මාණි ගුණරත්න