සෙලාන් බැංකුවේ තවත් පිරිසක් ‘ලීන් සික්ස් සිග්මා යෙලෝ බෙල්ට්’ සහතික ලබයි

0
61

සෙලාන් බැංකුවේ ලීන් සික්ස් සිග්මා යෙලෝ බෙල්ට්ස් (Lean Six Sigma Yellow Belts) වැඩසටහනේ දෙවැනි කණ්ඩායමේ සාමාජික සාමාජිකාවෝ 19 දෙනෙක් පසුගියදා තම පුහුණුව සාර්ථක ලෙස අවසන් කර සහතික ලබාගත්හ. මෙම අවස්ථාවට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි කපිල ආරියරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රමේෂ් ජයසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) මලික් වික්‍රමනායක, කාඩ්පත් ප්‍රධානි රුචිත් ලියනගේ සහ ජේ‍යෂ්ඨ කළමනාකරු (ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රතිසැකසුම්) රැන්මෝ වැන්ඩොර්ට් යන මහත්වරු ද සහභාගි වූහ.

තම ආයතනික මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් සෙලාන් බැංකුව විසින් 2019 වසරේදී ලීන් සික්ස් සිග්මා වැඩසටහනේ යෙලෝ බෙල්ට් මට්ටම සඳහා සාමාජික සාමාජිකාවන් පුහුණු කිරීම ආරම්භ කරන ලදී. සේවා ලබාදීමට ගතවන කාලය අඩු කිරීම මඟින් පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම, සම්පත් කාර්යක්ෂම ලෙස භාවිත කිරීම, වැරදි අවම කිරීම මඟින් සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම, කාර්ය මණ්ඩලයේ කාලය ඉතිරි කිරීම සහ තිරසර ව්‍යාපාර වර්ධනය සඳහා පවතින හැකියාවන් පුළුල් කිරීම වැනි ප්‍රධාන පැතිමාන කිහිපයක් කෙරෙහි මෙම ව්‍යාපෘතිය තුළදී මූලික වශයෙන් අවධානය යොමු වී ඇත.

මෙම වැඩසටහනේ පුහුණු කිරීම් සිදුකරන ලද්දේ සෙලාන් බැංකුවේ පළපුරුදු සහ සහතික ලත් ලීන් සික්ස් සිග්මා මාස්ටර් බ්ලැක් බෙල්ට් සහ ලීන් සික්ස් සිග්මා බ්ලැක් බෙල්ට් පුහුණුකරුවන් විසිනි. අතිශය විධිමත් පුහුණුකරණ ක්‍රියාවලියක් ඔස්සේ මට්ටම් කිහිපයකදී අනුමැතිය ලබාගත යුතු වන ආකාරයට මෙම වැඩසටහන සැලසුම් කර තිබේ. යෙලෝ බෙල්ට් පුහුණු වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ ගනුදෙනුකරුවන්ට සරල හා කාර්යක්ෂම විස¾දුම් ලබාදීමට තම කාර්ය මණ්ඩලය සතු හැකියාව තවදුරටත් පුළුල් කිරීම සඳහා 2021 වසරේදී ග්‍රීන් බෙල්ට් පුහුණු වැඩසටහන්ද ආරම්භ කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේය.

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මලික් වික්‍රමනායක මහතා පැවැසුවේ, අඛණ්ඩව දියුණුව කරා යෑමට පොලඹවන සේවා තත්ත්වය ඉහළ නැංවීමක් බැංකුව තුළ නිර්මාණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කළ බවයි. “ලීන් සික්ස් සිග්මා යෙලෝ බෙල්ට් සහ ග්‍රීන් බෙල්ට් සහතික ලැබූ කාර්ය මණ්ඩලයක් යනු ආයතනයකට බෙහෙවින් වටිනා සම්පතක්. බිම් මට්ටමේ වෙනස්කම් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ඔවුන් තම දැනුම හා අත්දැකීම් අන් අය සමඟ හුවමාරු කර ගනිමින්, මීට සමාන තවත් මෙහෙයුම් විශිෂ්ටත්ව ව්‍යාපෘති ආයතනය තුළ ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු කරනවා. මින් ලැබෙන යහපත් ප්‍රතිඵල දෙ-ආකාරයි. එක් අතකින්, ගනුදෙනුකරුවන්ට උපරිම ප්‍රතිලාභ හිමිවන පරිදි තම සේවා ප්‍රශස්ත ලෙස භාවිත කිරීමට මෙමඟින් බැංකුවට හැකියාව ලැබෙනවා. අනෙක් අතින්, ලීන් සික්ස් සිග්මා සහතිකකරණය හිමිවීම යනු කෙනකුගේ වෘත්තීය ජීවිතයට විශාල අගයක් එක්කරන සාධකයක්” මලික් වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙම පුහුණුව සාර්ථක ලෙස අවසන් කරන සාමාජික සාමාජිකාවන්ට, අපතේ යෑම් අවම කරමින් ව්‍යාපාර ක්‍රියාවලීන්හි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් පුළුල් මට්ටමේ දැනුමක් හා පුහුණුවක් හිමිවේ. මෙය ඔවුන්ට උපරිම මට්ටමේ පාරිභෝගික තෘප්තියක් හිමිවන පරිදි සේවා ලබාදීමට මහෝපකාරී වන සාධකයකි. ලීන් සික්ස් සිග්මා සංකල්පය මඟින් බිහිකරනු ලබන නව චින්තන රටාව පාරිභෝගිකයන්ට, කාර්ය මණ්ඩලයට සහ ව්‍යාපාරික හවුල්කරුවන්ට මෙන්ම පරිසරයටද ප්‍රතිලාභ රාශියක් හිමිකර දෙයි.