සමන් දෙවි අඩවියෙත් හොරු වැහි වැහැලා

0
6

රත්නපුර සබරගමුව මහ සමන් දේවාල අඩවියේ පිහිටි දේවාලේගාව ප්‍රදේශයේ පසුගිය මාස කිහිපයක සිට දහවල් මෙන්ම රාත්‍රි කාලවලදී දිනෙන් දින ඉහළ යමින් තිබෙන විවිධ හොරකම් හා එම හොරකම්වලට සම්බන්ධ අයගෙන් නිරන්තරව සිදුවන විවිධ තර්ජන හේතුවෙන් එහි නිදහසේ ජීවත් වූ ජනතාව මේ වනවිට දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවට වාර්තා වන අතර බොහෝ පිරිසකට එහි ජීවත්වීමත් මේ වනවිට ප්‍රශ්නයක් වී ඇති බවද ඔවුහු පවසති.

මේ වනවිට පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් එහි සිදුවන හොරකම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන අයටත් විවිධ තර්ජන සිදුකරමින් නිදහසේ එම හොරකම් සිදුකරමින් සිටින බව ප්‍රදේශවාසීහු කියති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි වෙසෙන මාධ්‍යවේදියකු වන ගයාන් කුඩාගම මහතා,

මෙම ගමේ මහ දවල් මෙන්ම රාත්‍රි කාලයේදීත් නිතර හොරකම් සිදුවනවා. මගේ යතුරුපැදියෙත් තිබුණු පෙට්රල් ලීටර් 7ක් පමණ බටේ කපා අරන් ගිහින් තිබෙනවා. මේ ගැන රත්නපුර පොලිසියට පැමිණිලි කළත් කිසිම පරීක්ෂණයක් තාම සිදුකර නෑ. ගමේ තවත් හොරකම් රැසක් මේ වනවිට සිදුව තිබෙනවා. මේ ගැන පොලිසියට ඒ අය පැමිණිලි කර ඇතත් තාම කිසිවකු අත්අඩංගුවට ගෙන නෑ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි ගම්වාසී කාන්තාවක් වන ඉන්ද්‍රාණි වීරමන්ත්‍රි මහත්මිය,

පහුගිය දිනක මගේ නිවෙසේ තිබුණු උදලු, යකඩ හා තවත් උපකරණ කිහිපයක් හොරු අරන් ගිහින් තිබෙනවා. මේ ගැන පැමිණිලි කරන්න පොලිසියට ගිය දිනයේ නිවෙසේ ‍ෙදාර කඩා ගෑස් සිලින්ඩරයත් හොරු අරන් ගිහින් තිබෙනවා. මෙම හොරකම් සිදුකරන්නේ කුඩුකාරයන්. මේ ගමේ නිදහසේ ජීවත් වුණු බොහෝ දෙනකුට මේ ප්‍රදේශයේ ජීවත් වීමත් දැන් තිත්ත වෙලා. සමන් දෙවියන්ගේ අඩවියේ සිදුවන මෙම අකටයුතුකම් දිහා සමන් දෙවියොවත් බලයි කියා ලොකු විශ්වාසයක් තවමත් තිබෙනවා.

ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රත්නපුර හිටපු අධිකරණ  වෛද්‍ය නිලධාරිවරයා,

පසුගිය දිනක මගේ නිවෙසටත් පාන්දර 3.30ට විතර නිවෙසේ ජනේලය කඩා යම් පුද්ගලයකු ඇතුළු වී නිවෙසේ අල්මාරියේ තිබූ රන් ආභරණ කිහිපයක් රැගෙන ගොස් තිබෙනවා. ඒ වනවිට මාත් බිරියත් දරු දෙදෙනාත් නිවෙසේ නිදාගෙන සිටියත් අපි ඇහැරෙන විට හොරා පැනගොස් තිබෙනවා. රත්නපුර පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා. පොලිසිය සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කර අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරමින් සිටිනවා.

මෙම ගම්මානයේ කලක සිට නිරන්තරව සිදුවන හොරකම් සම්බන්ධයෙන් හා එහි පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් රත්නපුර පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් බුද්ධික මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ පැවැසීය.

මෙම ප්‍රදේශයේ හොරකම් ගණනාවක් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබෙනවා. මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට බාධා පැමිණ තිබෙනවා. ප්‍රදේශයේ තිබෙන ඉන්ධනහල්වල ආරක්ෂාවට නිලධාරීන් 30 දෙනකු පමණ දෛනිකව යෙදවීමට සිදුව තිබෙනවා. නිලධාරීන්ට සේවයට පැමිණීමටත් ඉන්ධන හිඟකම ප්‍රශ්නයක් වී තිබෙනවා. මෙම තත්ත්වය සමනය වූ වහාම පරීක්ෂණ කටයුතු කඩිනම් කර අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ජනතාව පොලිසියේ සමහර  නිලධාරීන්ට විවිධ චෝදනා එල්ල කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ද විශේෂයෙන් සොයා බලනවා යැයිද මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවැසීය.

කුරුවිට – කේ.ඒ.එස්. පියතිලක