ශ්‍රී ලංකාවේ පළමු තරගය 27 වැනිදා

0
14

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සිලය මගින් ඊයේ (2දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මෙම තරගාවලියේ සමාරම්භක තරගය අගෝස්තු මස 27 වැනිදා ඩුබායිහිදී ශ්‍රී  ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය පැවැත්වීමට නියමිතව ඇති අතර, තරගාවලිය සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

එමෙන්ම මෙම තරගාවලියේ දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නා ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 28 වැනිදාය.

මෙහිදී ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කාණ්ඩ 2ක් යටතේ තරග පැවැත්වෙන අතර ශ්‍රී  ලංකාව මෙහි ‘බී’ කාණ්ඩයට ඇතුළත්ය. ඒ අනුව ‘බී’ කාණ්ඩයේ ශ්‍රී  ලංකාව සහභාගි වන මීළඟ තරගය බංග්ලාදේශය සමඟින් සැප්තැම්බර් 1 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

එමෙන්ම ‘ඒ’ කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් සහ ‘බී’ කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් සුපිරි කණ්ඩායම් 4හි තරග වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර, එම සුපිරි 4 වටයේ තරග සැප්තැම්බර් මස 3 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වේ.

එසේම සුපිරි කණ්ඩායම් 4 වටයේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක 11 වැනිදා පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

කෙසේ වෙතත් මෙම තරගාවලිය ශ්‍රී  ලංකාවේදී පැවැත්වීමට මෙයට පෙර සැලසුම් කර තිබුණද පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී  ලංකාවේ සත්කාරකත්වය සහිතව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙය පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබිණි.

ගමිත දෙහිපිටිය