ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවක රජු ඉහළින්ම අවසන් පූර්ව වටයට

0
13

එංගලන්තයේ බර්මිංහැම් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ (2දා) පැවැති මීටර් 100 පිරිමි මූලික වටයේ තරගය සඳහා ඉදිරිපත් වූ

ශ්‍රී  ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වූ යුපුන් අබේකෝන් පළමු ස්ථානය දිනා ගනිමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ඒ අනුව 6 වැනි මූලික වටයේ තරගය නියෝජනය කළ යුපුන් එහිදී තත්පර 10.06ක කාලයක් සටහන් කරමින් එහි පළමු ස්ථානය හිමිකරගනිමින් අවසන් පූර්ව වටයට පිවිසියේය. යුපුන් සහභාගි වන අවසන් පූර්ව තරගය අද (3දා) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය. එමෙන්ම පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටය සඳහා එක්වූ ක්‍රීඩකයින් 76 දෙනා අතරින් යුපුන් හොඳම කාලය වාර්තා කිරීමට සමත්ව තිබිමද කැපී පෙනෙන සිදුවීමකි.

එමෙන්ම ඊයේ දිනයේදී මීටර් 800 කාන්තා මූලික වටයේ තරගය සඳහා එක්වූ ගයන්තිකා අබේරත්නට හිමි වූයේ 5 වැනි ස්ථානයයි. ඒ අනුව එහි අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ඇයට අහිමි විය. කෙසේ වෙතත් එම තරගය නිමා කිරීම සඳහා ගයන්තිකාට  විනාඩි 2 තත්පර 1.20 ක් ගතවූ අතර එය එම ඉසව්වේ ඇයගේ හොදම පෞද්ගලික දක්ෂතාවයයි. 

මේ අතර ඊයේ දිනයේ පැවැති ජූඩෝ කිලෝ ග්‍රෑම් 73 බර පන්තිය නියෝජනය කළ ශ්‍රී  ලංකාවේ චාමර නුවන් ධර්මවර්ධන එහි අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. එහිදී චාමර හමුවේ බොට්ස්වානා රාජ්‍යයේ ටිරොලො ලොකෝකෝ පරාජයට පත් විය.

මේ අතර අද (3දා) කාලිංග කුමාරගේ මීටර් 400 පිරිමි මූලික වටයේ තරගය සඳහා ශ්‍රී  ලංකාවේ වේලාවෙන් පස්වරු 4.50ට එක්වීමට නියමිතව ඇත.