වැඩි මිලට සහල් අලෙවි කළ 8 දෙනකුට 8,80,000ක් දඩ

0
9

පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ වෙළෙඳසල් හිමියන් අට දෙනකුට මුදලින් රුපියල් අට ලක්ෂ අසූ දහසක (8,80,000) දඩයක් අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය සහ කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් විමල් වීරසිංහ මහතා නියම කළහ.

ඒ අනුව මෙම වෙළෙඳසල් හිමියන් හත් දෙනා අතරින් පස් දෙනකුට වෙන් වෙන් වශයෙන් මුදලින් රුපියල් ලක්ෂය බැගින්ද එක් වෙළෙඳසල් හිමියකුට මුදලින් (1,30,000) රුපියල් එක් ලක්ෂ තිස් දහසක් වශයෙන් ද තවත් වෙළෙඳසල් හිමියකුට මුදලින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් (1,50,000) වශයෙන්ද දඩ නියම කෙරිණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානී ජේ‍යෂ්ඨ විමර්ශන නිලධාරි බී.ඒ.සී.පී. පෙරේරා සහ විමර්ශන නිලධාරි සමන් අබේසිංහ යන මහත්වරුන් මෙම සැකකාර වෙළෙඳසල් හිමියන් අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට සහ කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කළහ.

අනුරාධපුර – ආනන්ද කරුණාදාස