ලෝකයා මවිත කළ රනිල්

0
15

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද (3දා) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. සිරි තිලක

අප්‍රහිතක ධෛර්ය සහ නොනවතින උත්සාහයට ලෝකයේ හොඳම නිදසුනක් රනිල් වික්‍රමසිංහය. 6 වාරයක් අගමැති වූ ඔහු අවසානයේදී රටේ ජනාධිපති වුණේය. කිහිපවරක් උඩපැන මිදිවැල් කඩා ගැනීමට නොහැකි වූවත් දැන් එය කඩාගෙන තලු මරමින් රස කරමින් වළඳන්නට පටන්ගෙන ඇත.

පසුගිය දිනක අවමඟුල් උත්සවයකදී ජනාධිපතිවරයා හමුවේ මගේ මුහුණේ ඇති ආවරණය පහත දමන්නට උත්සාහ කළ විට ඔහු කීවේ “මම ඔබව හඳුනා ගත්තා” කියාය. එවේලේම මාගේ ගමේ නම පැවැසූ විට ඔහු ඉංග්‍රීසියෙන් කීවේ 1976 කියාය. ඔහුගේ මතක ශක්තිය ඒ තරම් තියුණුය. අතීතයද ඒ තරමටම අමතක නොකරයි. ඔහු එසේ කීවේ 1976 පැවැති ජාඇල අතුරු මැතිවරණය ගැනය. ජේ.ආර්. ටද තම හිතවතුන් ගැන එවැනි මතකයක් තිබුණු බව අසා ඇත්තෙමි.

ඔහු 1976 කාලයේ කැලණිය එක්සත් ජාතික පක්‍ෂ සංවිධායකවරයා වූයේය. මන්ත්‍රිවරයකුද නොවූයේය. කොළ පාටට හුරු ජංගල් කාකි දිග කලිසමක් සහ කහ, කොළ කොටු සහිත කමිසයක් ඔහුගේ ප්‍රියතම ඇඳුමය. නිල්පාට සෙරෙප්පු දෙකක් පැලඳගෙන පුංචි ඔස්ටින් හැච් බෑක් රථයෙන් හෝ නිල් පාට ෆොක්ස්වැගන් රථයෙන් පැමිණියේය. ජාඇල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාව සිටි පාරිස් පෙරේරා මහතාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රිවරයකු තෝරා පත්කර ගැනීමට පැවැති අතුරු මැතිවරණයට සහයෝගය දැක්වීමට පැමිණියේය. ඔහුව මට එකල භාර දුන්නාටත් වඩා බලෙන්ම වාගේ මම ඔහුව මගේ සංවිධායක කටයුතු සඳහා ඉල්ලා සිටියේ කවදා හෝ ඔහු රටේ නායකයා වන බව  වැටහුණු හෙයිනි. මම එවකට එකී ගම්කාර්ය සභා ප්‍රදේශයේ තරුණ සමිති සභාපතිවරයාය. ඔහු ලස්සන තරුණයෙකි. ඔහු දේශපාලනය කරන්නට ඇවිත් ගම පුරා ඇවිද ගියත් කළේ දේශපාලනය පමණක් නොව, දීර්ඝ කාලයක් වාමාංශික

ප්‍රදේශයක්ව පැවැති එකී ගමේ බහුතරය එක්සත් ජාතික පක්‍ෂයට යොමු කරන්නට ඔහුට හැකිවුණි. ඊට සහාය වූයේ ඇන්තනී මාසල්, අධිනීතිඥ ඩී.පී.ආර් රාජපක්‍ෂ වැනි අයයි.

හැමදාම උදෑසන මැතිවරණ සටනට අවතීර්ණ වන මෙම ලස්සන තරුණයා උදේ ලේන්සුවේ ඔතාගෙන ගැටයක් දමාගෙන ආ රුපියල් 100 යේ නෝට්ටුව හවසටත් ආපසු ගෙන ගියේය. උදේ සිට රෑ වනතුරු ඇල් වතුර ටිකක්වත් නැතිව ආ කාරිය ඉටුකළ ඔහු එක දිනක පමණක් කුරුම්බා ගෙඩියක් බිව් බව මතකය. තවත් දිනෙක විරුද්ධ පක්‍ෂයේ දේශපාලනය කරන අයටත් තම පක්‍ෂයේ අයටත් ගමේ කඩේකින් ඔහුගේ මුදලින් තේ අරන් දුන්නේය.

සී.සිරිල් මැතිව් බණ්ඩාරවෙල සිට කැලණියට එන්නට උත්සාහ ගත්විට ඔහු කැලණියේ සංවිධායක ධුරයෙන් ඉවත්ව අලුතින් කැඩුණු බියගම ආසනයට ගියේය. ඔහු කිසිවිටෙකත් අරගල නොකරන අතර, අරගලවලින් ප්‍රයෝජන ගන්නා අයෙකි.

ජේ.ආර්. වගේම සූක්‍ෂ්ම, උපායශීලී මෙන්ම ඔහුට උදවු කළ කිසිවකු අමතක නොකළේය. නියෝජ්‍ය විදේශ ඇමැතිකම හා හා පුරා කියා ලැබුණු නමුත් වැඩිපුරම කැබිනට් රැස්වීම්වලට ගියේ රනිල්ය. ඒ විදේශ ඇමැති ඒ.සී.එස්. හමීඩ් ලෝකයේ වටේ පියෑඹූ නිසාය.

රැකියා සඳහා ඔහු ලිපි ලබා දුන්නත් ඔහුගේ සිතේ තිබුණේ වැඩි ඡන්ද 6000 ගාණකින් බියගම ආසනය ජයගත් එකී ආසනයේ පිරිසට රැකියා එක එක ලබා දෙන්නට නොවේ. දෝතින් උඩ දැමූ විට අහුලා ගන්නට හැකි තරම් රැකියා ලබාදීමය. ඔහු සිනාසෙන්නේද එක් එක් පුද්ගලයා සමඟ නොවේ. සියයක් දෙසීයක් ප්‍රමාණයකට එකවරය. බියගම වෙළෙඳ කලාපය ඇතිවූයේද එසේය. ඒ ප්‍රදේශයේ රැකියා හිඟයක් නැත. රැකියාව සඳහා අවට ප්‍රදේශවලින්ද බියගමට ආවෝය. අදත් විශාල කර්මාන්තශාලා (මුදල් මුද්‍රණය කරන කර්මාන්ත ශාලාවක්ද සමඟ) රාශියක් පිහිටා ඇත.

ලංකාවේ පළමුවැනි කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමැති වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වූවේ වර්ෂ 1977 දීය. පුදුම ඉවසීමක් ප්‍රගුණ කර තිබුණි. රනිල් වසර 45ක් පමණ ඊටත් වඩා කාලයක් ඉවසා සිටි අතර. ජේ.ආර්. ජනාධිපති වූයේ වයස අවුරුදු 74 දීය. නමුත් රනිල් වයස 73 දී ජනාධිපති විය.

පක්‍ෂයට උදවු කළ අයට ඔහු සැලකුවේය. පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් ඔහුට ‍ෙදාස් කීවත් ඔහු ගණන් ගත්තේ නැත. ඒ පක්‍ෂයට ඇති කැපවීම සහ බැඳීම හේතුවෙනි. කලිසම ඇන්දත් රෙද්දයි කෝට් එකයි ඇන්දත් ඔහුට ප්‍රශ්නයක් නැත. මට වගේම අපේ ගමේ දේශපාලනය කළ ඇල්.පී මුදලාලිටද 5 වැනි පටුමඟේ ඔහුගේ මහගෙදරට ඕනෑම වෙලාවක අවතීර්ණ වන්නට හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයට යන්නට අවස්ථාව ලැබුණි.

වයස අවු: 21 දී පමණ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය ලබාගෙන එවකට තිබුණු අධිනීතිඥ විභාගය සමත්ව වයස අවු: 23 දී පමණ අධිනීතිඥවරයකු වුණි. ඔහු කිට්ටුවට යන්නට අද තැත්කරන බොහෝ දෙනෙක් එදා ඔහු සමඟ සිටි අය නොවේ. සුරනිමල රාජපක්‍ෂ සුනිල් ආර්. මාගම්මන එදා ඔහු සමඟ සිටි අයයි. සුරනිමල රාජපක්‍ෂ දැන් ජීවතුන් අතර නැත.

ඔහු අගමැති කාලයේ රූපවාහිනි ආයතන දෙකකින්ම මට හදිසියේ දුරකථන ඇමැතුම් ලැබුණි. කලින් දින රාත්‍රියේ මමත් මගේ මිතුරෙකුත් එක්තරා සංගමයකින් නෙරපූ බව රජය යටතේම පවතින රූපවාහිනිවලින් ප්‍රකාශ කෙරුණි. නමුත් එකී අසත්‍ය ප්‍රකාශ එක රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයකට පමණක් සීමා වූ අතර, ඉන්පසු එදිනම විකාශය කිරීම නතර වුණි. එපමණක්ද නොව සිදුවූ දේ හැරි හැටි දැනගත් අගමැතිවරයා එක් එක් අයගේ චරිත ඝාතනය නොකර අනිත් පක්‍ෂය කියන දෙයත් ප්‍රචාරය කරන ලෙස ස්වාභාවික යුක්තිධර්ම රීතිය යටතේ අවශ්‍ය බවට දන්වා තිබුණි. ඒ අනුව කොළඹ නිදහස් චතුරස්‍රයේදී වාර්තා කරගත් අපේ පැත්තේ කතාවට වැඩි ඉඩකඩක් ලබා දුන්නේය. ඒ අනුව එකී ආයතනවලට විරුද්ධව නීතිමය කටයුතු කරන බවට නීතියෙන් බලවත් විරුද්ධවාදියකු තර්ජන කළ විට එවකට සිටි කීර්තිමත්ම නීතිඥවරයා තබාගෙන එකී ආයතන ආරක්ෂා කිරීමට පියවර ගත්තේය. ඔහු එහෙම අයෙකි.

1977 මැතිවරණය එච්.බී. වන්නිනායක, පී.බී කවිරත්න, ගාමිණි අතුකෝරල, සමරවීර වීරවන්නි, යූ.බී විජේකෝන් ආදීහුද මන්ත්‍රිවරු වශයෙන් ඔහු සමඟ තේරී පත් වූ කිහිපදෙනෙකි. ගාමිණී දිසානායක, නන්ද මැතිව්, එස්.බී හේරත් වනි අය ඊට පෙර පාර්ලිමේන්තුවේ අයයි. පැරණි මන්ත්‍රිරුන් අතරින් අද පාර්ලිමේන්තුවේ සිටින මහින්ද රාජපක්‍ෂ සහ රනිල් වික්‍රමසිංහ වැනි කිහිපදෙනකු පමණි.

අලුතින් සිතා යමක් කරන ඔහු නිදහස් අධ්‍යාපන සේවය නිර්මාණය කර තරුණ විදුහල්පතිවරු දැයට තිළිණ කළේය. දිවයින පුරා විද්‍යා පීඨ ඇති කළේය. ජාතික තරුණ සේවා සභාව, බියගම වෙළෙඳ කලාපය, නව කර්මාන්ත ආදිය ඇති කළේය. තරුණ පරපුරටත් රටටත් ලබාදුන් ඒ ඔහුගේ සේවාවන් කිහිපයකි.

වින්සර්ටර් චර්චිල්, අයිසන් හවර්, ඒබ්‍රහම් ලින්කන්, සිරො, රූස්වේල්ට්, නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි, ඇඩොල්ෆ් හිට්ලර් සහ ජේ.ආර්. ජයවර්ධන අයටද රනිල්ගෙන් විවිධ විෂයයන් ගැන තවමත් දැනගන්නට දේවල් නොමැත්තේද?

සූක්‍ෂ්ම සහ ප්‍රශ්න ඇති කර නොගන්නා නායකත්වයට ඉතා ළැදි සහ ස්ථානෝචිතව කටයුතු කරන ඔහු ඔහුගේ ගුරුවරයා වූ ජේ.ආර්. ජයවර්ධනද කූෂාග්‍ර බුද්ධිමතකු වූ එස්මන්ඩ් වික්‍රමසිංහ යන ඔහුගේ පියාගෙන්ද පරම්පරාවෙන් ඔහුට ලැබෙන පුස්තකාලයෙන් ලබාගත් දැනුමද මෙතැනට එන්නට උදවු වන්නට ඇත.

මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ වැනි නිහතමානී සහ බහුශ්‍රැත කාන්තාවක් ඔහුගේ බිරිය වී ඇත්තේද පෙර වාසනාවකටය. එසේ නැත්නම් ඔහු ආසනගත මන්ත්‍රිවරයකු නොවී පක්‍ෂයට පමණක් එක ආසනයක් හිමිව තිබියදී විරුද්ධවාදී පක්‍ෂයක සහායෙන් අගමැති වී පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයට මුහුණදී මන්ත්‍රිවරුන්ගේ මනාප ඡන්ද 134ක් ලබාගෙන ජනාධිපති තනතුරටද පත්වීම ලෝකයේ කිසිදු දිනක, කිසිදු රටක සිදුවී නැත. අනාගතයේදී වෙනත් රටක සිදු වන්නේද නැත. එය ලෝකය මවිත කිරීමකි.

සිරි තිලක