ලංකාවට ආධාර කරන්න ‘නිපොන් පරිත්‍යාග පදනම’ රොෂාන් මහානාම සමඟ එක්වෙයි

0
11

මෙරට කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ රොෂාන් මහානාම දැන් බොහෝ කලක සිට ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් විධිමත් හා ඵලදායි සමාජ සද්කාර්යයන්හි නිරතව සිටී. ජපානය පදනම් කර ගනිමින් ලොව පුරා රටවල් 30කට අධික සංඛ්‍යාවක සෞඛ්‍ය, අධ්‍යාපන හා ව්‍යවසායකත්වය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර නංවාලීම වෙනුවෙන් ක්‍රියාත්මක වන නිපොන් පරිත්‍යාග පදනම ද (Nippon Donation Foundation) ඒ සඳහා ඔහුට අනුග්‍රහය දැක්වීමේ උත්සවයක් පසුගියදා කොළඹදී පැවැත්විණි.

නිපොන් පරිත්‍යාග පදනමේ ජාතික අධ්‍යක්ෂ ආචාර්ය රුවන් පෙරේරාගේ ආරාධනයකට අනුව එම පදනමේ සභාපති මෙන්ම නිර්මාතෘ ජපානයේ සුප්‍රකට ව්‍යවසායකයකු වන යූමා මුරනුෂි ඒ සඳහා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය. ආචාර්ය රුවන් පෙරේරාගේ මූලිකත්වයෙන් මුරනුෂි විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් කෝටියකට අධික බෙහෙත් ද්‍රව්‍ය හා උපකරණ පරිත්‍යාගයක් ද පසුගියදා සිදු කර තිබිණ. ආචාර්ය රුවන් පෙරේරා ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ‘සෝනි’ සමාගමේ වසර 20කට අධික කාලයක් සේවය කළ ජේ‍යෂ්ඨ විදුලි ඉන්ජිනේරුවරයෙකි. ඔහු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ උපකාර මෙන්ම විවිධ ජපාන ආයෝජන ව්‍යාපෘති ශ්‍රී ලංකාවට ලබා දීම කෙරෙහිද දැඩි කැපවීමකින් කටයුතු කරයි.

යූමා මුරනුෂි සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවැසීය. ‘මෙම අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කිරීම ඇත්තෙන්ම මට ගෞරවයක්. මේ රට අසීමිතව දියුණු කළ හැකි රටක් ලෙස මම දකිනවා. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට මේ රටේ ජනතාවට හැකි උපරිම ආකාරයෙන් සහයෝගය ලබා දෙන බව මා අවධාරණය කරනවා. මෙවැනි දුෂ්කර කාලයක ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන රොෂාන් මහානාම හා ආචාර්ය රුවන් පෙරේරා මහත්වරුන්ට මම ස්තුතිවන්ත වෙනවා..’

තිස්ස කොරතොට