රාජ්‍ය අංශයේ සිකුරාදා නිවාඩුව අහෝසියි

0
22

මෙතෙක් රාජ්‍ය අංශයට ලබාදී තිබූ සිකුරාදා දින නිවාඩුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.  ඒ අනුව රජයේ කාර්යාල විවෘත නොකිරීමට නිකුත් කළ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි. අවලංගු කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කීය.

පොදු ප්‍රවාහන සේවා යළි යථා තත්ත්වයට පත් වෙමින් පවතින බවද ධාවනයෙන් ඉවත්ව තිබූ ලංගම බස් රථ යළි ධාවනයට එක් වෙමින් පවතින බවද ඇමැතිවරයා කීය.

ශ්‍රී අ ක්‍රමය යටතේ ඉන්ධන ලබාදීමත් විධිමත් ක්‍රමයක් ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන නිසා මේ තීරණය ගත් බවද හෙතෙම පැවැසීය.

මේ හේතුවෙන් සිකුරාදා නිවාඩු දිනය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කෙරෙන බවද එළඹෙන සතියේ සිට සිකුරාදා දිනය වැඩ කරන දිනයක් බවට පත් වන බවද ඔහු අවධාරණය කළේය.

අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර ඉතිරි රාජ්‍ය ආයතන සිකුරාදා දිනයේදී වසා තැබීමට පසුගිය ජූනි මාසයේ මුල් සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි විය. 

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව මාස තුනක කාලයක් සඳහා සිකුරාදා දිනවල ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර සෙසු රාජ්‍ය ආයතන වසා තැබීමට තීරණය කෙරිණි.

පැවැති ඉන්ධන හිඟය හේතුවෙන් රාජ්‍ය සේවයේ සේවකයන්ට සිය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට තිබූ ගැටලු හා රාජ්‍ය සේවකයන්ට සිය ගෙවතුවල හෝ වෙනත් ස්ථානයක කෘෂිකාර්මික කටයුත්තක නිරත වීමට අවශ්‍ය පහසුකම් සලසා දීම ආදිය සැලකිල්ලට ගෙන සිකුරාදා දිනය නිවාඩු දිනයක් බවට පත් කිරීමට මින් පෙර තීරණය වී තිබිණි.

ඒ අනුව, එම උපදෙස් සහිතව මාස 3ක් සඳහා වලංගු වන ලෙස චක්‍රලේඛයක්ද නිකුත් කෙරිණි.

මේ වන විට පොදු ප්‍රවාහනය යථා තත්ත්වයට පත් වෙමින් පවතින නිසා එම චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට විෂය භාර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සවනි ශේශාධි