රනිල්ගේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවට අපි සහාය දෙමු

0
60

ජනතා ගැටලු විසඳීමේ ප්‍රමුඛ අරමුණ පාදක කරගනිමින් වර්තමාන ජනාධිපතිවරයා විසින් සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට අපේක්ෂා කරන අතර එම සංකල්පය සාර්ථක කර ගැනීමට සියලු වාදභේද ඉවතලා සහාය ලබාදීම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු සියලුදෙනාගේ ප්‍රමුඛ වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර පවසයි. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී ජගත් කුමාර මහතා මෙසේද කීවේය.

“අපි රටක් විදිහට මේ රටේ ඉන්න ජනතාව විශාල අපහසුතාවකට ලක්වී ඇති බව වෙළෙඳපොළට ගියාම  සහ භාණ්ඩ මිල ඉහළ යෑම තුළින් පෙනෙනවා. ඒ් වගේම ජනතාව පෝලිම්වල තමන්ගේ කාලය ගත කිරීම තුළින් විශාල අපහසුතාවන්ට මුහුණ දෙනවා. ඒ් නිසා අපි දන්නවා ජනතාව අසීරුවෙන් ඉන්න බව. ඒ් වගේම විවිධ බලපෑම් හරහා ආණ්ඩුවට විවිධ අපහසුතාවන්ට මුහුණ දෙන්න වෙලා තිබෙනවා.

ඒ් නිසා අපි හැමෝම පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රටක් විදිහට ගොඩයන්න කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ් සඳහා අපිට විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක්, විවිධ පක්ෂ කිහිපයන්ගෙන් සහ රටේ ජනතාව යෝජනා කරලා තිබෙනවා. මේ සියල්ල යෝජනා විතරක් බවට පත් නොකර පවතින තත්ත්වය කළමනාකරණය කරමින් රටේ ජනතාවට යහපත් රටක් හදන්න සියලු පක්ෂ කටයුතු කරන්න ඕන.  එසේ නැතිව බොරදියේ මාළු බාමින් කටයුතු කිරීම තුළින් රටේ ජනතාව තවත් පිඩාවට පත් කිරීමක් සිදු කරන්නේ. මේ අවස්ථාවේ පක්ෂ නායකයන්ට, ජාතික නායකයන්ට, අපි හැමෝටම වගකීමක් තියෙනවා රටේ ජනතාව දුකින් මුදා ගෙන ඔවුන්ට සහන ලබාදීමයි අවශ්‍ය වන්නේ.

අපි කවුරුත් දන්නවා පසුගිය අවුරුදු 02ක, 2 1/2ක කාලයක් තුළ ඩොලර් එන ක්‍රමවේද විශාල ප්‍රමාණයක් ඇන හිටියා. සංචාරක කර්මාන්තය, විදේශ විනිමය නැති වුණා. ඒ වගේම කොරෝනා සහ විවිධ ආපදා නිසා නිෂ්පාදනයන් ටික සිදු කරගන්න බැරි වුණා. ඒ නිසා යම් පාඩුවීම්වලට ලක්වුණා. මේ තත්ත්වය තුළ ගෙවීම් සහ වියදම් වැඩි වුණා. එක් පැත්තකින් කොරෝනාව නිසා රෝගීන්ට බෙහෙත් ගේන්න සිදු වුණා. අත්‍යවශ්‍ය  භාණ්ඩ ගේන්න වියදම් දැරුවා. අපිට ලැබෙමින් තිබුණ විශාල ඩොලර් ප්‍රමාණයක් ලැබුණේ නෑ. ඒ නිසා ඩොලර් හිඟයක් ඇතිවෙලා අපි ලොකු අර්බුදයකට මුහුණදීලා තිබෙනවා. ඒ අර්බුදය තුළ යම් වගකීමක් දරන්න නම් පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කරන්න ඕන. ඒ නිසා ආදරණීය ජනතාවගෙන් සහ සියලු පක්ෂවලින් ඉල්ලා සිටින්නේ අපි හැමෝම එකතුවෙලා යම් කාලයකට හෝ මේ ආණ්ඩුවට කටයුතු කරන්න සහයෝගය ලබා දෙන්න.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අවස්ථාවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හෝ ජාතික මට්ටමේ සියලු පක්ෂවලට එකඟවෙන්න පුළුවන් ආණ්ඩුවක් හදාගෙන ඉස්සරහට යාවි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ කාර්යයේදී ඕනෑම කැපකිරීමක් කරලා රට ගොඩගන්න දායකවෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අනෙකුත් සියලු පක්ෂවලට ආරාධනා කරනවා තමන්ගේ නායකයා ජනාධිපති, අගමැති වෙනකන් ඉන්නේ නැතිව හැමෝම එකතුවෙලා  එක මතයකට ඇවිත් මේ රට ගොඩගෙන  අපේ ආදරණීය ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න උදවු කරන්න කියලා.

යම් මට්ටමකට අද ආණ්ඩුව ගත්ත තීන්දු නිසා ගෑස් පෝලිම්, කිරිපිට පෝලිම් යම් ප්‍රමාණයකට නැතිවෙලා තිබෙනවා. ඒ වගේම QR System එකට ගිය නිසා තෙල් බෙදා හැරීම යම් ප්‍රමාණයකට සාර්ථකවෙලා තිබෙනවා. ඒ වගේම එදිනෙදා ජීවත්වෙන පිරිසක් ලෙස කටයුතු කරන ත්‍රීවීල්වලට තව ටිකක් තෙල් ලබාදීමේ සහනය ලබාදීලා ඉදිරියට යන්න ඕන. අපි හැමෝම සාමකාමී වී, එකතුවෙලා කටයුතු කරමු කියලා ආරාධනා කරනවා”.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය