රට සල්ලි එවන අයට තීරුබදු රහිත ඉලෙක්ටි්‍රක් වාහන

0
98

නීත්‍යනුකූල මාර්ගවලින් මෙරටට විදේශ විනිමය එවන විදෙස්ගත ශ්‍රමිකයන්ට බදු රහිතව විද්‍යුත් (ඉලෙක්ටි්‍රක් ) වාහන ආනයනය කිරීමට බලපත්‍රයක් ලබාදීමට පියවර ගෙන ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවැසීය. බැංකු පද්ධතිය හරහා මෙරටට විදෙස් ප්‍රේෂණ යොමුකරන විදේශගත ශ්‍රමිකයන්ට සහ විදේශගත  ලාංකිකයන්ට ගුවන් තොටුපළේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමට කටයුතු කරන බවද හෙතෙම කීය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (02දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය. ඒ අනුව, තමන්ගේ හෝ ඥාතියකුගේ හෝ ගිණුමකට ඩොලර් 3,000ට වැඩි ප්‍රමාණයක් මෙරටට එවූ අයට එම මුදලේ වටිනාකම මෙන් බාගයකට බදු රහිතව විද්‍යුත් යතුරුපැදියක් මිලට ගැනීමට අවස්ථාව හිමිවන බව ඇමැතිවරයා කීය.

ත්‍රිරෝද රථ මිලදී ගැනීම් සඳහා මේ සහනය ලබා නොදෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඩොලර් 20,000ට වඩා වැඩි මුදලක් මෙරටට එවා ඇති පුද්ගලයන්ට එම මුදලින් අඩක වටිනාකම උපරිමය ඩොලර් 65,000ක් දක්වා මිල පරාසයක විද්‍යුත් මෝටර් රථයක් මෙරටට ගෙන්වීමට අවසර ලැබෙන බවද හෙතෙම පැවසීය.

එම මෝටර් රථය කිලෝමීටර් 300-500ත් අතර ධාවන පරාසයක විය යුතු බව අවධාරණය කළ ඇමැතිවරයා එම වාහන ජාතික විදුලි බල පද්ධතියෙන් ආරෝපණය කිරීමට අවසර හිමි නොවන බවද කීය.

එම වාහන ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය විදුලි බලය එම පුද්ගලයා විසින්ම සපයා ගත යුතු බවත් ඒ සඳහා සූර්ය බල විදුලි පද්ධතියක් මිලදී ගැනීම  හෝ ආනයනය කිරීම සිදුකළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

මෙමඟින් රටට ඩොලර් ගෙන්වා ගැනීම වර්ධනය කර ගැනීම සහ විදේශයන්ට ඩොලර් ඇදී යෑම අවම කිරීමත්, ප්‍රධාන ධාරාවට බලපෑමක් නොවීමත්, පරිසරය සුරැකීමත් යන ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීමටත් අපේක්ෂා කරන බවද ඇමැතිවරයා පැවැසීය.

ඒ සඳහා වන චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරන බව හෙතෙම කීය.

එමෙන්ම විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙරටට පැමිණීමේදී ගුවන් තොටුපළේදී හිමිවන තීරුබදු සහනය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීමට තීරණය වී ඇතැයි විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළේය.

මෙතෙක් කලක් විදෙස්ගත වී දින අනූවකට වඩා අඩු කාලයක් සිටි අයකු මෙරටට පැමිණීමේදී ඩොලර් එකසිය අසූහතයි සත පනහක තීරුබදු සහනයක්ද, වසරක කාලයක් නම් ඩොලර් හයසිය විසි පහක තීරු බදු සහනයක්ද, වසරකට වඩා වැඩි නම් ඩොලර් එක්දහස් හත්සිය පනහක තීරු බදු සහනයක්ද හිමිවූ බව ඇමැතිවරයා සඳහන් කළේය.

එම සහනය ඒ අයුරින්ම තිබියදී දින අනූවකට අඩු කාලයක් විදෙස්ගතව සිට ඩොලර් දෙදහස් හාරසීයක්වත් අඩුම තරමේ මෙරටට ඒවා ඇත්නම් “සිල්වර් කැටගරි” යටතේ ඩොලර් හත්සිය අසූහතක තීරුබදු සහනය ඩොලර් හයසීයකින් වැඩි කරන බවද හෙතෙම කීය.

විදෙස්ගත කාලය වසරක් නම් ඩොලර් එක්දහස් දෙසිය විසිපහක් සහ වසරකට වඩා වැඩි නම් ඩොලර් දෙදහස් තුන්සිය පනහක් තීරු බදු සහනය ලෙස හිමි වන බවද ඔහු පැවැසීය.

මේ අයුරින්ම ඩොලර් හාරදහස් අටසීයක්වත් එවා ඇත්නම් 1175, 1585 සහ 2710ක් ලෙසත්, ඩොලර් 7200ක් එවා ඇත්නම් 1627, 2065, 3190 ලෙසත්, ඩොලර් 12000ක් එවා ඇත්නම් ‘ගෝල්ඩ් ප්ලස් කැටගරිය’ යටතේ ඩොලර් 2587, 3025 සහ 4150ක තීරුබදු සහන හිමි වන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

වසරකට ඩොලර් 24000ක් එවා ඇත්නම්  එය 20%ක් වැඩි වී හිමිවන සහනය ඩොලර් 4800කින් වැඩි වන බවද ඔහු කීය. ඒ අනුව තීරු බදු සහනය අවම වශයෙන් ඩොලර් 4985, 5425 සහ 6550ක් වන බවද හෙතෙම පැවැසීය.

සවනි ශේශාධි