රටේ ප්‍රශ්න විසඳීමට රනිල්ට කාලයක් ලබා දිය යුතුයි

0
49

ආර්ථික ප්‍රශ්න විසඳා රට ගොඩ ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට යම්කිසි සාධාරණ කාලයක් ලබාදිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවැසීය.

මසකට වරක් හෝ මාස දෙකකට වරක් නව පාලකයකු පත්කර ගැනීමෙන් සියලු ප්‍රශ්න තව තවත් උග්‍ර වී රට තව තවත් අරාජික වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රිවරුන් සමඟ උඩුගම්පොළ, ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවැසීය.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරට පත්වුණේ ව්‍යවස්ථානුකූලවයි. එම පත්වීමේ කිසිදු ව්‍යවස්ථා විරෝධී බවක් නැහැ. මේ මොහොතේදී රට දැවැන්ත ප්‍රශ්න ගණනාවකට මුහුණදී තිබෙනවා. අද අවශ්‍ය වන්නේ මේ ප්‍රශ්න විසඳා රට ස්ථාවර කිරීමයි. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපි යම්කිසි කාලයක් ලබාදිය යුතුයි.

බොහෝ දෙනාගේ අදහස වුණේ හිටපු ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉවත් විය යුතු බවයි.  ඒ හඬට ඇහුම්කන් දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වුණා. දැන් අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් අගමැතිවරයෙක් පත්වුණා. දැන් තියෙන්නෙ අලුත් රජයක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු නව රජය රට මුහුණදී තිබූ ප්‍රශ්න එකින් එක විසඳාගෙන යනවා. දැන් ඉන්ධන, පොහොර, විදේශාධාර රටට ලැබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා. ඒ අධාර ලැබෙන්න නම් රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති විය යුතුයි. දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවුවහොත් තවත් මාස කිහිපයක් ගතවන විට රට නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වේවි.

දැන් සමහරු උත්සාහ ගන්නේ ජූලි 9 වැනිදා වගේ අගෝස්තු 9 වැනිදත් ජනතාව කොළඹට ගෙනත් අරගල කරලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ තනතුරින් එළවන්නයි. ඊට පස්සේ අපි පත්කරගන්නේ කවුද? මේ විධියට මසකට වරක් හෝ මාස දෙකකට වරක් නව පාලකයකු පත්කර ගැනීමෙන් රටකට ස්ථාවර ගමනක් යන්න බැහැ. රටේ දේශපාලන, ආර්ථික, සමාජීය ස්ථාවර බවක් ඇතිවෙන්නේ නැහැ. රටට මුදල් ලබාදෙන්න එපා කියලා සමහර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ජාත්‍යන්තරයෙන් ඉල්ලනවා. අපි කුහක දේශපාලනයෙන් මිදෙන්න ඕන. තවදුරටත් පක්ෂ පාට, ආගම්වලට බෙදුණොත් රටට අනාගතයක් නැහැ.  අපි දේශපාලනය පසුව කරමු. ඉස්සෙල්ලා රට ස්ථාවර කරගන්න කටයුතු කරමු. ඒ සඳහා මේ මොහොතේදී සියලුම මතිමතාන්තර ඉවත දමා රට වෙනුවෙන් අපි එකට එකතු විය යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පටු දේශපාලන මතිමතාන්තර ඉවත දමා රට ගොඩ ගන්න කටයුතු කරනවා. ඒ සඳහා අපි මේ මොහොතේදී ඔහුට උපරිමයෙන් ශක්තිය ලබාදෙනවා. දේශපාලනය කරන්න කලින් මිනිහෙක්ට රටක් ඇතුළේ නිදහසේ ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න ඕන. අපි මේ අත්විඳිමින් සිටින්නේ ආර්ථික අර්බුදයේ නරකම කාලයයි. මේ රජය අරගලකරුවන්ගේ හඬට ඇහුම්කන් දෙනවා. නමුත් කාටවත් ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කරන්න දෙන්න බැහැ. සැබෑ අරගලකරුවන් ආරක්ෂා කරන අතරම අරගලයේ නාමයෙන් රට ඇතුළට එන ත්‍රස්තවාදය හා ෆැසිස්ට්වාදය පරාජය කරන්න අපි කටයුතු කරනවා. එසේ නොවුණහොත් මේ රටට ඉදිරි ගමනක් නැහැ.

දැන් ගෝල්ෆේස්වල තියෙන්නේ සැබෑ අරගලයක් නෙවෙයි. ගෝල්ෆේස් අරගල භූමිය දැන් කුඩුකාරයන්ගේ, ගණිකාවන්ගේ සහ පාතාලයන්ගේ නවාතැන්පොළක් බවට පත්වෙලා. ඒ තුළ සැබෑ අරගලකරුවන් නැහැ.

අනුරාධා හේරත්