මේ බිඳ වැටෙන්නේ යැපුම් රාජ්‍යයයි

0
19

මිනිසා ආර්ථික සත්ත්වයකු බවත් තාර්කික ආර්ථික තීරණ ගැනීමක නිරත වන බවත් ආර්ථික විද්‍යාව පිළිගනී. එසේම නිෂ්පාදන, පරිභෝජන, ඉතුරුම් ආයෝජන ආදී පුද්ගල මට්ටමේ හා කුටුම්බ මට්ටමේ තීරණ ආර්ථිකයට වැඩිම බලපෑමක් ඇතිකරවන බවද හඳුනා ගනී. ඒ අනුව ආර්ථිකයක් වෙනස් කිරීමටත් සංවර්ධනය කිරීමටත් සමහර ආර්ථික විචල්‍යයන් මත බලපෑම් ඇති කරමින් ඒවා කළමනාකරණය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව පෙනේ. ඒ සඳහා ආර්ථික සත්ත්වයකු යැයි සැලකෙන මිනිසාගේ මානසිකත්වය හා ආකල්ප තුළද විප්ලවීය වෙනසක් සිදුවිය යුතුය.

නිදහස ලැබූ දා පටන් ශ්‍රී ලාංකේය අපි ගනුදෙනු දේශපාලනයක නිරත වීමු. එනම්, සිමෙන්ති කොට්ට කිහිපයක් හෝ වහලට සෙවිලි තහඩු කිහිපයක් හෝ රජයේ රැකියාවක් හෝ තමන්ගේ ව්‍යාපාරයට බදු පැහැර හැරීමට නීති විරෝධී අවස්ථාවක් හෝ අයථා අන්දමේ ව්‍යාපාරික බලපත්‍රයක් වැනි යමක් අපට දුන්නොත් එසේ දෙන්නන්ට අපි කතිරය ගසා මනාපය පළකර අපේ පාලකයන් ලෙස ඔවුන් පත් කර ගතිමු. ඉන් වැඩුණු යැපුම් මානසිකත්වයේ හෙවත් සුබසාධන මානසිකත්වයේ අයහපත් ප්‍රතිවිපාක දැන් අපි භුක්ති විඳිමු.

 “අර කාර් එක හදන්න නාස්ති කරපු සල්ලිවලින් මේ රටේ පවුල් කීයකට කන්න දෙන්න තිබුණාද?” යනුවෙන් කෝටි විස්සක් පමණ වටිනා අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයේ ගමන් ගන්නා ආකාරය දකින අයකු අසල සිටි තම මිතුරාට පවසයි. ඊට පිළිවදන් දෙන ඔහුගේ මිතුරා  “ඒ කාර් එක නිෂ්පාදනය කිරීමට දායක වීම තුළින් පවුල් කීයක් නම් ආදායම් උපයන්නට ඇත්ද?” යනුවෙන් පවසයි.

ඉහත සංවාදයේ නිරත පළමු පුද්ගලයා තුළ පවතින්නේ යැපුම් මානසිකත්වයයි. දෙවැන්නා තුළින් පෙනෙන්නේ ව්‍යවසායකත්ව නිෂ්පාදන මානසිකත්වයයි. උග්‍ර ආර්ථික අර්බුදයකදී යැපුම් රාජ්‍යය බිඳවැටී යැපුම් මානසිකත්වය නිශේධනය වන බව අප අවබෝධ කරගත යුතුය. එවිට එතැනින්ම ව්‍යවසායකත්ව රාජ්‍යය මතු කර ගැනීම යෝග්‍ය වේ. වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා රජයේ සුබසාධන වියදම් සහ අනෙකුත් රාජ්‍ය වියදම් දැඩි ලෙස සීමා කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන්නේ ද එනිසාය. එය වත්මන් රජය ගෙන ඒමට සූදානම් වන මීළඟ අය – වැයට පෙර අනතුරු ඇඟවීමක් වැනිය.

සුබසාධනය අවශ්‍යය. ශ්‍රී ලංකාව වැනි රටකට එය සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකිය. එහෙත් ඉන් ඇතිවන යැපුම් මානසිකත්වය භයානකය, පසුගාමීය. සල්ලි අච්චු ගසමින් යැපුම් දීමනා ලෙස බෙදා දීමෙන් නිෂ්පාදනයක් බිහි නොවේ. ආදායම් බිහිවිය යුත්තේ නිෂ්පාදනය තුළින්ය. එවිට වියදම් කරන්නේ එම ආදායමය, එම ආදායම බිහි කිරීමට පදනම් වූ නිෂ්පාදනය මිලදී ගැනීමටය. නිෂ්පාදනයකින් තොර පරිභෝජනය දිරි ගැන්වීමේ එක් දරුණු ප්‍රතිඵලයක් වන්නේ අප අද අත්විඳින ආකාරයේ ජවන උද්ධමනයක් ආර්ථිකය තුළ ඇතිවීමය.

බංකොලොත් වූ රටක් නැවත ගොඩනැගීමට ඉවහල් කරගත යුත්තේද කර්මාන්තය. කර්මාන්ත සංවර්ධනය වේගවත් කිරීම සඳහා අප යැපුම් මානසිකත්වයෙන් ව්‍යවසායකත්ව මානසිකත්වයටත් ඉතුරුම් මානසිකත්වයෙන් ආයෝජන මානසිකත්වයටත් විතැන් විය යුතුමය. ධනවාදී වෙළෙඳපොළ අර්ථ ක්‍රමය තුළ සුබසාධනය උපරිම කළ හැක්කේ නේකවිධ යැපුම් දීමනාවලින් නොව, ව්‍යවසායකත්ව සංවර්ධනය තුළින් බවට සංවර්ධිත රටවල් පරමාදර්ශ සපයයි. රුසියාව, චීනය, ජපානය වැනි රටවල් අත නොසොල්වා කට සොලවන්නට බැරිය. සියලු දෙනා තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් නිෂ්පාදනයට දායක විය යුතුමය.

සාර්ථක දේශීය ව්‍යාපාරිකයන්ගේ කතාවලින් අප අසා ඇති ආකාරයේ ව්‍යවසායකයන් විසි එක් වැනි සියවසේ බිහිවේ යැයි අපේක්ෂා කළ නොහැකිය. එය ගතානුගතික චින්තනයකි. නූතන ලෝකයේ බිහිවන්නේ සමාන්තර ව්‍යවසායකයන්ය. සමාන්තර ව්‍යවසායකයෝ එක් පැත්තකින් වෘත්තිකයෝය, තවත් පැත්තකින් ව්‍යවසායකයෝය. ඔවුහු කර්මාන්තවල ආයෝජනය කරති, විකල්ප නිෂ්පාදන ප්‍රවර්ධනය කරති, රැකියා අවස්ථා උත්පාදනය කරති.

අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා එක් පැත්තකින් සමාන්තර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනයට අවැසි නෛතික හා ආයතනික පසුතලය සැකසීම රජයේ කෙටිකාලීන සංවර්ධන ප්‍රමුඛතා අතර ඉහළින්ම පැවතිය යුත්තකි. සමාන්තර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය බොහෝවිට වර්තමානයේ මෙරට ආර්ථිකය මුහුණදී සිටින බුද්ධි ගලනයටත් ඉදිරියේදී ඇතිවිය හැකි බවට පුරෝකථනය කෙරෙන වෘත්තිකයන්ගේ රික්තකය සමනය කර ගැනීමටත් ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත.