මෙවරත් ශූරතාව ටැමිල් යුනියන්ට

0
24

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මෙවරත් දිනා ගැනීමට පසුගිය වර ශූර ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ටැමිල් යූනියන් පිල ඊයේ (2) සමත්විය.  ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව යුද හමුදා පිල කඩුලු 7කින් පැරැදවීමට ටැමිල් යූනියන් පිලට හැකිවිය.

කාසියේ වාසිය හිමිකරගත් යුද හමුදා ක්‍රිකට් සමාජ පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ප්‍රබල පිතිකරු ලැයිස්තුවකින් සමන්විත යුද හමුදා පිලට ටැමිල් යූනියන් පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 49.5කදී සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 198ක් පමණි. යුද හමුදා ක්‍රිකට් සමාජ පිලේ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 13ක් තුළදී දවාලීමට ආරම්භක පන්දු යවන්නාවූ සංතුෂ් ගුණතිලක සමත්විය. ලකුණු පුවරුවේ 84ක් වශයෙන් සටහන් වන විට යුද හමුදා පිතිකරුවන් 6ක් දවාලීමට ටැමිල් යූනියන් පන්දු යවන්නන් සමත්වූහ.

කෙසේ වෙතත් ඉනිමේ අවසන් භාගයේදී අසේල ගුණරත්න (59) සහ මහේෂ් කුමාර (57) යුද හමුදා ලකුණු පුවරුව ලකුණු 198ක් දක්වා රැගෙන ගියහ.

යුද හමුදා පිලට ප්‍රබල තර්ජනයක් එල්ලකරමින් දක්ෂ පන්දු යැවීමක නිරතවුණු සංතුෂ් ගුණතිලක ලකුණු 14කට කඩුලු 3ක් හා ඉසුරු උදාන ලකුණු 31කට කඩුලු 3ක් දවාලීය.

පිළිතුරු ඉනිම දියත්කරමින් පන්දුවාර 50කදී ලකුණු 199ක ඉලක්කයක් හඹාගිය ටැමිල් යූනියන් ඉනිමට අවස්ථා 2කදී වර්ෂාවෙන් බාධා වීමත් සමඟින් පන්දුවාර 37කදී ලකුණු 153ක ඉලක්කයක් හිමිවිය. පන්දුවාර 31.2කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට ටැමිල්යුනියන් පිලට හැකියාව ලැබිණි.  

එහිදී ටැමිල් යුනියන් පිලේ සධීර සමරවික්‍රම (නොදැවී 58), දිලිරුවන් පෙරේරා (37) හා නවෝද් පරණවිතාන (32) ටැමිල් යුනියන් පිලේ ජයග්‍රහණය පහසු කිරීමට දායකත්වය සැපයීය. 

යුද හමුදාව – 198 (පන්දුවාර 49.5) (අසේල ගුණරත්න 59, මහේෂ් කුමාර 57, සුමින්ද ලක්ෂාන් 28, ලක්ෂාන් එදිරිසිංහ 17, මහීෂ් තීක්ෂණ 15, සංතුෂ් ගුණතිලක 14/3, ඉසුරු උදාන 31/3), ටැමිල් යූනියන් – 153/3 (පන්දුවාර 31.2) (සදීර සමරවික්‍රම නොදැවී 58, දිල්රුවන් පෙරේරා 37, නවෝද් පරණවිතාන 32, රොන් චන්ද්‍රගුප්ත 13, අසංක මනෝජ් 27/2 ඡායාරූප අනුග්‍රහය – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ඉෂාන් රශ්මිත