මුව ආවරණයක් පැලඳ පෙරහර බලන්න එන්න

0
14

කොවිඩ් වසංගත තත්ත්වය නව මුහුණුවරකින් අත්දකින්නට සිදුව තිබෙන නිසා නිසි ලෙස මුව ආවරණයක් පැලඳ මහනුවර ඇසළ මංගල්‍යය නැරඹීමට පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව මහනුවර නාගරික ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පසන් පැරකුම් ජයසිංහ මහතා ඉල්ලීමක් කරයි.

එය තමන්ගේ මෙන්ම අන් අයගේද සෞඛ්‍ය ආරක්ෂාව සඳහා හේතුවනු ඇතැයි ඒ මහතා කීය.

මහනුවර නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේදී ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ වනවිට මහනුවර නාගරික සීමාවෙන්ද කොවිඩ් රෝගීන් හඳුනා ගනිමින් තිබෙන බවත් ගත වූ මාස කිහිපය තුළ මරණ කිසිවක් වාර්තා නොවුණු බවත් ඒ මහතා කීය.

කොවිඩ් එන්නත් මාත්‍රා සියල්ල ලබාගෙන නොමැති අයට මහනුවර ජාතික රෝහලෙන් හා පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් එන්නත් ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කොවිඩ් රෝගීන් හා ඩෙංගු රෝගීන්ද නගර සීමාවෙන් වාර්තා වෙමින් තිබෙන නිසා පෙරහර නැරඹීමට පැමිණෙන විට පැඟිරි තෙල් වැනි මදුරු විකර්ෂකයක් ආලේප කර පැමිණෙන්නේ නම් ඩෙංගු පමණක් නොව අනෙකුත් මදුරු දෂ්ටනයන්ගෙන්ද ආරක්ෂා වීමට හැකි යැයි ඒ මහතා පැවැසුවේය.

ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම අන් අයට නොපවරා තමන්ම එය සිදුකර ගන්නේ නම් මදුරු ව්‍යාප්තිය පහසුවෙන් පාලනය කරගත හැකි යැයිද ජයසිංහ මහතා කීය.

පිට, පිටම වසර තුනක් ඇසළ පෙරහර නැරඹීමට ජනතාවට නොහැකි වූ බැවින් මෙවර පෙරහර බැලීම සඳහා විශාල පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසුවේය.

මහනුවර – කේ.එල්. සුරවීර