මුල්ලේරියාවේ පොහොට්ටු මන්ත්‍රි බැංකුව හන්දියේදී මරා දමයි

0
39

කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරකයකු ඊයේ (02දා) සවස නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා මරා දැමීය.

මුල්ලේරියාව බැංකුව හන්දියේදී මොහු වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඒ ඔහුට අයත් වැඩබිමක රැඳී සිටියදීය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු මෙන්ම ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරයකුද වන සුමුදු රුක්ෂාන් පින්තු නමැත්තෙකි.

මුල්ලේරියාව, අඹතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු තිදරු පියෙකි.

වෙඩි වැදීමෙන් පසු වැඩබිමේ සේවකයන් විසින් ඔහු රෝහල් ගතකර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව දින 62ක කාලය තුළ නාඳුනන තුවක්කුකරුවන් විසින් බිලිගත් මිනිස් ජීවිත සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගියේය.

මන්ත්‍රිවරයාගේ මුහුණට හා පපුවට වෙඩි පහර කිහිපයක් එල්ල කර තිබූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඉකුත් මස 26, 27, 30 සහ 31 යන සිවුදින තුළ නාඳුනන තුවක්කුකරුවන් විසින් පුද්ගලයන් 8 දෙනකු වෙඩි තබා මරා දැමීය.

කීර්ති මෙන්ඩිස්