නිවාස 2ක් නාය ගිහින් පස් කන්දට යටවූ තිදරු පියා මරුට

0
11

නෝටන්බි්‍රජ් ප්‍රදේශයට (01දා) දවස පුරා ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නිවාස දෙකක් නායගොස් එක් නිවෙසක සිටි තිදරු පියකු පස් කන්දට යටවී ජීවිතක්ෂයට පත්වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවැසීය.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ නෝටන්බි්‍රජ් විදුලිපුර ටැප්ලෝ ජනපදයේ පදිංචි සංජීව විමලවීර නමැති 40 හැවිරිදි අයෙකි.

01දා පස්වරු 1.00ට පමණ නායයෑමේ ලක්ෂණ මතු වූ නිසා මරණකරු නිවෙසේ තිබූ බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටියදී නිවාස දෙකම එකවරම නායගොස් ඇති බව සහකාර අධ්‍යක්ෂකවරයා පැවැසීය.

නායයෑමෙන් පස් කන්දට යටවී තිබූ තිදරු පියාගේ සිරුර ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් විසින් දැඩි පරිශ්‍රමයක් දරා 01දා රාත්‍රියේ ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

නායගිය ස්ථානයෙන් නෝටන්බි්‍රජ් ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ කොටසක් සම්පූර්ණයෙන්ම ගිලා බැස ඇති අතර එම මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස නෝටන්බි්‍රජ් පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.