නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිය අද විවෘත වෙයි

0
14

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසි වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03දා) උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය. මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (03දා) පෙ.ව 10.30ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

 ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් ලෙස පවත්වන බවත්  ඔහුගේ උපදෙස් මත ඊට කටයුතු යොදා ඇති අතර ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ සහ අශ්වාරෝහක පෙළපාලි නොපැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ  වේත්‍රධාරි  නරේන්ද්‍ර ප්‍රනාන්දු  පැවැසීය.

 ඒ වෙනුවට ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරයක් පිරිනැමීම සිදුවන අතර මෙහිදී ජනාධිපතිවරයාගේ ධජය එසවීමක් සිදුනොවන සේම ජාතික කොඩිය පමණක් එසවීම සිදුකෙරෙන බව වේත්‍රධාරිවරයා සඳහන් කළේය.

 අද (03දා) පෙ.ව 09.30ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර, එහිදී  පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණීම සිදුවීමට නියමිතය.

 අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ පැමිණීම සිදුවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පැමිණීම සිදුවන්නේ ඉන් අනතුරුව‍ය.

 එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පිළිගැනීමට නියමිතය.  එහිදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරය පිරිනැමීමෙන් අනතුරුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ජනාධිපති  පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යනු ලැබේ.

 එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසලදී කොළඹ, දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර, ජනාධිපතිවරයාට ආශීර්වාද එක් කිරීමට නියමිතය.

 අනතුරුව පැලඳුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා පෙ.ව 10.25 පමණ වන තෙක් එහි රැඳී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය  වේත්‍රධාරි, වේත්‍රධාරි, ජනාධිපතිවරයා, කථානායකවරයා, මහලේකම්වරු යන අනුපිළිවෙළට පෙරහරෙන් සභා ගර්භයට ඇතුළුවීම සිදුවේ. සභා ගර්භයට ඇතුළුවීමේදී නියෝජ්‍ය වේත්‍රධාරිවරයා  විසින් “ගරු ජනාධිපතිතුමා” යනුවෙන් ආමන්ත්‍රණය කරන අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු නැඟී සිට ආචාර කිරීම සම්ප්‍රදායානුකූලව සිදුවේ.

 සභාගර්භයට පිවිසි ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙවර ජනාධිපතිවරයාගේ අසුනේ ජනාධිපතිවරයාගේ නිල ලාංඡනය වෙනුවට රාජ්‍ය ලාංඡනය සවිකර තිබීම විශේෂත්වයකි. මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමඟ අසුන් ගැනීම සිදුවේ. අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන්  පසුව, සභාව කල් තැබීම සිදුවේ. ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර ඇත.

 ජනාධිපතිවරයා සහ ආර්යාව පාර්ලිමේන්තුවෙන්  පිටත්ව යන අවස්ථාවේදීද හමුදා උත්තමාචාරයක් පිරිනැමීම සිදුවේ.

 සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සියලු කටයුතු සිදුකෙරෙන බවද වේත්‍රධාරිවරයා පැවැසීය.

අනුරාධා හේරත් , සඳුනි ගමාරච්චි