දිස්ත්‍රික්ක හතකට ගංවතුර මරණ 4යි: හතරක් අතුරුදන්

0
14

දිස්ත්‍රික් හතකට බලපා ඇති ආපදා තත්ත්වයෙන් පුද්ගලයන් සිවු දෙනකු මියගොස් පවුල් 1766ක පුද්ගලයන් 8000කට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ආපදා තත්ත්වය නිසා පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිවු දෙනකු අතුරුදන්වී ඇති බවත් වාර්තා වී ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 643කට අයත් පුද්ගලයන් 3046 දෙනකු ආරක්‍ෂක ස්ථාන වෙත යොමු කර ඇති බවද අයහපත් කාලගුණ තත්ත්වය නිසා මහනුවර, නුවරඑළිය, ගාල්ල, රත්නපුර යාපනය යන දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

නිවාස 25කටද ආපදා තත්ත්වයෙන් අර්ධ හානි සිදුව ඇතැයිද වාර්තා වේ.

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මාර්ගයෙන් දිසාපතිවරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම්දී තිබේ.

විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ගුණවර්ධන මහතා ඊයේ (02දා) දිනයේදී මෙසේ උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහනුවර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල ආදී ආපදාවට ලක්ව ඇති දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය පියවර ගන්නැයි දැනුම්දී ඇත.

මෙම කාර්යයේදී දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගෙන කඩිනමින් විස¼දා දීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගේ සහාය ලබාදීමට එම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය මත උඩරට දුම්රිය ගමනාගමනයට දැඩි බාධා ඇති වී තිබේ. පෙරේදා (01දා) දින මධ්‍යම පළාත තුළ පැවැති අධික වර්ෂාව සමඟ ප්‍රදේශ ගණනාවක පස් කඳු කඩා වැටීම්, ගස් කඩා වැටීම් හා විශාල ගල් පෙරළීම් දුම්රිය මාර්ගය වෙත පතිත වී ඇත.

කොටගල දුම්රිය ස්ථානය හා තලවකැලේ දුම්රිය ස්ථාන අතර, රෝසැල්ල දුම්රිය ස්ථානය හා වටවල දුම්රිය ස්ථානය අතර, වටවල දුම්රිය ස්ථානය හා ගලබඩ දුම්රිය ස්ථානය අතර, ගලබඩ දුම්රිය ස්ථානය හා ඉඟුරුඔය දුම්රිය ස්ථානය අතර හා නානුඔය දුම්රිය ස්ථානය අතර හා ගේ‍ර්ස්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර මෙම හදිසි ආපදා තත්ත්වය ඇතිව තිබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ (02දා) ගමන් ආරම්භ කරන ලද දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කරන ලද දුම්රියයන් දුම්රිය මාර්ග අවහිර වීම හේතුවෙන් නාවලපිටිය හා හැටන් දුම්රිය ස්ථානවල නවතා ඇත.

එමෙන්ම මේ වන විට දුම්රිය මාර්ගය වෙත මෙන්ම බස් මාර්ගය වෙත පස් කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය තුළ සිටින මගී ජනතාව ළඟම දුම්රිය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ අපහසුකමක්ද පැන නැඟී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසීය.

මේ තත්ත්වය හේතුවෙන් ඊයේ හා පෙරේදා යන දිනයන්වල කොළඹ කොටුව සිට බදුල්ල බලා හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතව තිබූ රාත්‍රි තැපැල් දුම්රියන් දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත. පවතින තත්ත්වය යටතේ අද (03දා) දිනයේද දුම්රිය ගමන් වාර බොහොමයක් සීමාවනු ඇති බවත් දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිටත් පියවර ගනිමින් තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පවතින අවදානම් තත්ත්වය නිසා ඇතිවිය හැකි නාය යෑම් අනතුරු පිළිබඳව රත්නපුර, අයගම, කුරුවිට, කලවාන, කහවත්ත, නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට දෙවැනි මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බවත් පැල්මඬුල්ල, බළන්ගොඩ, කිරිඇල්ල, ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කළ බවද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සඳහන් කර ඇත.

ඉදිරි දින තුනේදී ද වර්ෂා තත්ත්වය පැවැතිය හැකි බැවින් නායයෑම් සහිත අවදානම් ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය නිවේදනය කර තිබේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය,

අමිත් මධුරංග ගමගේ,

මිතුන් ජයවර්ධන, චන්දන ලක්මාල්, අලවතුගොඩ ජයම්පති, අනුර බණ්ඩාර, හැටන් – චන්න අද්දරගේ, කහවත්ත – එල්. නිරෝෂණ, නෝර්වුඩ් – නීටා පත්මකුමාරි, අකුරැස්ස – එස්. රණවීර,

අතුරලිය – එස්. විජිත,

දෙයියන්දර – ටී. විජේසේකර, කුරුවිට – කේ. ඒ. එස්. පියතිලක