දිස්ත්‍රික්ක අටකට නායයෑමේ අවදානමක්

0
15

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික් අටක් සඳහා ඊයේ (02දා) නායයෑම් අනතුරු නිවේදන නිකුත් කර ඇත. බදුල්ල, කොළඹ, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට හා රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරනු ලැබූ බව එම සංවිධානය කියයි.

මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම්වලට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් එකී දිස්ත්‍රික්කයන්හි ස්ථාන රැසක නායයෑමේ අවදානම් මතුව ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශ ප්‍රධානී ආචාර්ය ගාමිණි ජයතිස්ස ‘මව්බිම’ ට පැවැසීය.

මේ දිනවල පවතින වර්ෂාවට දිගින් දිගටම පොළව පෙඟෙමින් පවතින බවත් ඉදිරි දිනවල වැසි ඇතිවන අවස්ථාවල නායයෑමේ අවදානම වැඩිවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය. කෙසේ වෙතත් භූමියේ පවතින වෙනස්වීම් පිළිබඳ අවධානයෙන් සිටින්නැයි කඳුකරයේ පදිංචිකරුවන්ගෙන් ආචාර්ය ජයතිස්ස ඉල්ලීමක්ද කළේය.

විනීතා එම්. ගමගේ