තාත්තා අවු: 106ක් ජීවත් වුණා: නංගිට දැන් 100යි: මටත් 105 පැනලා

0
14

කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 55 බී මලවිට ග්‍රාම නිලධාරි වසමේ කළු ආරච්චිලාගේ පොඩි අප්පුහාමි දැනට 105 වැනි වියේ පසුවෙයි. ඔහු පවසන්නේ තමාගේ පියා වූ පොඩි රාලහාමිද වයස අවුරුදු 106 ක් ජීවත්ව සිටි බවයි. කළු ආරච්චිලාගේ පොඩි අප්පුහාමි 1917 මැයි 23 වැනි දින කෑගල්ලේදී උපත ලැබූ අතර ඔහුට පිරිමි දරුවන් තිදෙනෙක් හා එක් ගැහැනු දරුවකු සිටී. පොඩි අප්පුහාමිගේ බිරිය 1990දී ජීවිතක්‍ෂයට පත්වූවාය.

මලවිට පල්ලේගම පදිංචිව සිටින කළු ආරච්චිලාගේ ධර්මතිලක වන තම පුතුගේ නිවෙසේ පදිංචිව සිටින ඔහු දැනට සමෘද්ධි හා වැඩිහිටි දීමනාවට හිමිකම් කියයි. පොඩි අප්පුහාමි සමෘද්ධි හා වැඩිහිටි දීමනාව ලබා ගැනීමට කිලෝ මීටරයක් පමණ අෑතින් පිහිටා ඇති කාර්යාලවලට යන්නේ පයින්මය. කළු ආරච්චිලාගේ පොඩි අප්පුහාමි සිය ජීවිතය පිළිබඳ මෙසේද පැවැසීය.

මගේ පියා පොඩි රාලහාමි අවුරුදු 106ක් ජීවත් වුණා. මගේ නංගි දැනට ජීවත් වෙනවා. නංගිටත් දැන් අවුරුදු 100ට කිට්ටුයි. නංගිත් හොඳට ජීවත් වෙනවා මලවිට ලොකු දුව ළඟ. අපි පුංචි කාලේ ඉඳලා හේන් ගොවිතැන් කටයුතු කරලා ජීවත් වුණු මිනිස්සු. එදා අල, බතල, මඤ්‍ෙඤාක්කා, කුරහන් කුඹුරු වැඩ කරලා තමයි කෑවේ. කොස් කාලෙට කොස්, දෙල් කාලයට දෙල් කනවා. වැඩිපුර තියෙන කොස් දෙල් වේළනවා. වහින කාලයට මැස්සෙන් අරන් කනවා. ඒ හින්දා වෙන්න ඇති අද මට කිසිම අසනීපයක් නැත්තේ. ඔය මිනිස්සුන්ට තියෙනවා යැයි කියන කොලෙස්ටරෝල්, දියවැඩියාව මොකවත් නෑ. ඇස් දෙක හොඳට පේනවා, කන් ඇහෙනවා. ඕනෑම තැනකට යන්න එන්න පුළුවන්.

පසුගිය කොරෝනා කාලේ මට කොරෝනා අසනීපය වැලඳුණේ නෑ. කොරෝනා එන්නත් තුනක් මම දැනට අරගෙන තියෙනවා. කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කුමාර් වික්‍රමසිංහ මහත්තයා මගේ නිවෙසට ඇවිල්ලා එන්නත දීලා ගියා. එන්නත ගත්තා කියලා මට කිසිම අතුරු ආබාධයක් තවම නෑ.

මම තනිවම ගිහිල්ලා ටැංකියෙන් නා ගන්නවා. පවුලේ හැමෝම මට ආදරෙයි. ඒ අයට පුළුවන් විදිහට හොඳට සලකනවා. කිසිම අඩුපාඩුවක් නෑ. දැන් මගේ වයස අවුරුදු 105යි මාස තුනයි. තාත්තාටත් වැඩිය කාලයක් ජීවත් වෙයි කියලා හිතනවා. මොකද තාම කිසිම අසනීපයක් නැති හින්දා. කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම වයස්ගත පුද්ගලයාත් තමා යැයි පොඩි අප්පුහාමි වැඩිදුරටත් පැවැසීය.

දමුණුපොළ – චමින්ද ජයලත්