කුඩු පානය කර පුනරුත්ථාපනය වී ඇවිත් යතුරුපැදි හා රන් මාල කොල්ලකෑමේ යෙදිලා

0
12

දිවයින පුරා යතුරුපැදි සොරකම් හා රන් මාල කොල්ලකන ලද පුද්ගලයකු සොරකම් කරන ලද යතුරුපැදි එකොළහක් සමඟ ගාල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවැසුවේ සැකකරුවකු සමඟ මෙතරම් යතුරුපැදි තොගයක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට මානජ්ජාව පාර 28  හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා අධිකරණ නියෝග මත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර එම මධ්‍යස්ථානයේදී සැකකරු හබරාදුව – පිලාන ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ සම්බන්ධතාවක් ගොඩනඟාගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නිදහස්ව පැමිණ හෙරොයින් පානයට මුදල් සොයා ගැනීමට එම මිතුරා සමඟ එක්ව යතුරුපැදි සොරකම් කිරීමටත් රන් මාල කොල්ලකෑමටත් පටන්ගෙන ඇත.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවලදී රුපියල් පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් යතුරුපැදි එකොළහක්ද හම්බන්තොට, තිස්ස, ගාල්ල ප්‍රදේශවලදී රන් මාල තුනක්ද කොල්ලකා ඇත.

කරන ලද ප්‍රශ්න කිරීමේදී පුනරුත්ථාපන කඳවුරේදී හඳුනාගත් නිට්ටඹුව, හබරාදුව, හික්කඩුව, කිරිබත්ගොඩ, හම්බන්තොට, යක්කල, ගල්කිස්ස, මිරිහාන, කොල්ලුපිටිය ආදී ප්‍රදේශවල පුද්ගලයන්ගේ නිවෙස්වල සඟවා තිබූ යතුරුපැදි එකොළහක් සොයාගෙන ඇත.

පොලිසිය පැවැසුවේ ලංකාවේ මෙතෙක් සොරාගත් යතුරුපැදි වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවය.

දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, ගාල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පිට ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත, උප පොලිස් පරීක්ෂක එම්.ටී. ප්‍රියන්ත, උප පොලිස් පරීක්ෂක පුෂ්පකීර්ති, සැරයන් විජිත් (35163), කොස්තාපල්වරුන් වන ගීතප්‍රිය (78828), ජීවන් (71351), අරුණ (63009), ජගත් (77147), ප්‍රියබන්දු (81731), සඳකැලුම් (35769), අසංග (37716), පොලිස් රියැදුරු වීරසිංහ (13446) යන මහත්වරුන් විසින් සැකකරු සහ යතුරුපැදි අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඊයේ (2දා) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගාල්ල – ෆර්හාන් නිසාම්දීන්, අහංගම _ එස්. දීයගහගේ