කැපිටල් ගොඩනැඟිල්ල ආක්‍රමණය කළ පළමු අරගලකරුවා වසර 7ක් හිරේට

0
46

2021 වසරේ ජනවාරි 6 වැනිදා අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය පවත්වාගෙන යන කැපිටල් ගොඩනැඟිල්ල ආශ්‍රිතව ඇති වූ කැරැල්ල මෙහෙය වූ බවට චෝදනා එල්ල වී සිටි ගයි රෙෆිට් හට වසර 7කට වැඩි සිර දඬුවමක් නියම කර තිබේ.

49 හැවිරිදි ගයි රෙෆිට් ටෙක්සාස්හි පදිංචි තෙල් කම්කරුවකු බව පැවසේ.

නඩු විභාගයේදී යොදා ගැනුණු වීඩියෝ දර්ශනවලට අනුව අනාවරණය වී තිබුණේ, ඔහු පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගනිමින් කැපිටල් ගොඩනැඟිල්ලට බලහත්කාරයෙන් කැරලිකරුවන් ඇතුළු කිරීමට උත්සහ කර ඇති බවය.

මෙහිදී ඔහුට එරෙහිව ඔහුගේ පුත්‍රයාද සාක්ෂි ලබා දීම විශේෂත්වයකි.

ඔහුගේ පුත්‍රයා වන ජැක්සන් රෙෆිට් සාක්ෂි ලබා දෙමින් පවසා තිබුණේ, සිය පියා “ඔබ, මාව නතර කරන්නේ නම් ඔබ ද්‍රෝහියෙක්. ද්‍රෝහීන්ට දඬුවම මරණය” යනුවෙන් තමන්ටද තර්ජනය කළ බවය.

අදාළ දිනයේදී රූගත කරන ලද දර්ශනවලින්ද අනාවරණය වී ඇත්තේ, ඔහු කැරලිකරුවන්ට අනුබල දෙමින් ක්‍රියා කළ බවය.

ඊට අමතරව, අමෙරිකානු නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි කැපිටල් ගොඩනැඟිල්ලෙන් පිටතට ඇදගෙන ඒමට සැලසුම් කර ඇතැයි ඔහු සිය ආධාරකරුවන්ට පැවැසූ බව අධිකරණ සාක්ෂිවල සටහන් වී තිබේ.

“ඇයගේ හිස පඩිපෙළේ සෑම පඩියකම වදින ආකාරයට ඇයව ඇදගෙන යනවා,” ඔහු පවසා තිබිණි.

මෙම කරුණු සැලකිල්ලට ගත් අමෙරිකාවේ ටෙක්සාස් දිස්ත්‍රික් අධිකරණ විනිසුරු ඩැබ්නි ෆ්‍රෙඩ්රික් විසින් ගයි රෙෆිට්ට මාස 87ක සිර දඬුවමක් නියම කරන ලදී.‍

2021 කැපිටල් ගොඩනැඟිල්ලේ කැරැල්ල සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දුන් පළමු චූදිතයා ඔහු විය.

මෙම කැරැල්ලට සම්බන්ධ වූ පුද්ගලයන් 900 දෙනෙකුට ආසන්න පිරිසකට අධිකරණයේ චෝදනා ගොනු කර තිබේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් නියම වූ බරපතළම දඬුවම ගයි රෙෆිට්ට හිමි වී ඇත.

2021 වසරේ පැවැති අමෙරිකානු මැතිවරණයෙන් ඩිමොක්‍රටින් පක්ෂයේ අපේක්ෂකයා වූ ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය පිළිගැනීමට නොහැකි බව පවසමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පිරිසක් කැපිටල් ගොඩනැඟිල්ල ආක්‍රමණය කිරීමට උත්සහ කළහ.

කුමුදු ජයවර්ධන