කළුතරදී දුම්රිය අනතුරින් මියගිය සෙබළාගේ දේහය ඥාතීන් ප්‍රතික්ෂේප කරලා

0
14

ගුවන් හමුදා සුඛෝපභෝගී වෑන් රථයක් පසුගිය 31 වැනිදා අලුයම කළුතර උතුර ප්‍රදේශයේදී දුම්රියක ගැටී සිදුවූ අනතුරෙන් මියගිය ගුවන් හමුදා සෙබළාගේ මෘතදේහය භාරගැනීම බිරිය ඇතුළු ඥාතීන් ප්‍රතික්ෂේප කර ඇති බැවින් මෘත දේහය ඊයේ (02දා) නැවත කළුතර මල්ශාලාවකට රැගෙනවිත් ගුවන් හමුදාව විසින් භාරදී  ඇතැයි  පොලිසිය පවසයි.

වීරවිල ගුවන් හමුදා කඳවුරේ රාජකාරි කළ වැල්ලවාය, කොටවෙහෙරගල ප්‍රදේශයේ පදිංචිව සිටි උඩුකාවේ ගමගේ සුගත් හර්ශක ගමගේ නමැති එම 40 හැවිරිදි සෙබළා එම දුම්රිය අනතුරෙන් මියගොස් තිබිණි.

මියගොස් ඇති සෙබළාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව  මෘතදේහය සිවිල් ඇඳුම් අන්දවා ඥාතීන් වෙත භාරදීමට ගුවන් හමුදාව විසින් වැල්ලවාය ප්‍රදේශයට රැගෙන ගොස් ඇතැයිද දේහයට නිල ඇඳුම් අන්දවා නොමැති බැවින් සහ හමුදා ගෞරවාචාර නොමැති බැවින් ඔහුගේ බිරිය ඇතුළු  පවුලේ සාමාජිකයන් දේහය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා කියා සිටියේ මෙම සෙබළාට කඳවුරෙන් ලබාදුන් උපදෙස් පරිදි,  වෑන් රථයේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා එහි හිමිකරුගේ නිවෙසට ගොස් තිබෙනවා. එම කටයුතු නිමාවෙන් පසු ඔහු ගුවන් හමුදා නියෝගවලට පටහැනිව කටයුතු කර තිබෙනවා.

ඒ නිසා ලබාදී ඇති නියෝග කඩකරමින් කටයුතු කර ඇති නිසා හමුදා ගෞරවාචාර සහ වන්දි ලබාදීමට අපහසුයි. එහෙත් හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා වියදමින් දේහය ඥාතීන්ට භාරදීමට උත්සාහ කළත්, එය ප්‍රතික්ෂේප කරන බැවින්  අධිකරණ නියෝගයක් ලබාගෙන රජයේ වියදමින් අවසන් කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බවයි.

පොතුපිටිය – සුමිත් රණවක