ඒ ස්වර්ණමය අවස්ථාවයි මේ….

0
90

මේ මොහොතේ මේ රටට අවශ්‍යම දේ පක්‍ෂ වශයෙන්, පිල් වශයෙන් කණ්ඩායම් වශයෙන් භේදභින්න නොවී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මහජන නියෝජිතයන් එකට එකතු වී මේ රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමය. මේ රටේ සක්‍රීය ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ වැඩි ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්ව සිටී. දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය පදවියට පත්ව ඇත. පොදු ජනතා කැමැත්ත හෝ අකැමැත්ත කෙසේ වෙතත් දැන් අමාත්‍ය මණ්ඩලයක්ද පත්ව සිටී. දැන් කළ යුතුව තිබෙන්නේ රට වැටී තිබෙන ආර්ථික අගාධයෙන් කඩිනමින් ගොඩ එන්නට මාර්ගය පාදා ගැනීමය. මේ සම්බන්ධව සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. මේ ඒ සම්බන්ධව මහජනතාව අතර කතිකාවක් ගොඩනැඟෙමින් තිබෙන මොහොතකි.

පවතින අර්බුද සඳහා මේ මොහොතේ එළැඹිය හැකි විසඳුම් මාර්ග දෙකකි. එකක්; පවත්නා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් අතරින් පක්‍ෂ කණ්ඩායම් ගැන නොතකා සියලු පක්‍ෂ ඒකරාශී වී තාවකාලිකව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමය. අනෙක් විසඳුම් මාර්ගය වන්නේ ආණ්ඩුව විසුරුවා මහ මැතිවරණයකට අවස්ථාව සලසාදීමය. පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේද දෙකය මේ. මේ ක්‍රම දෙක අතරින් පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ආණ්ඩුව විසුරුවා හළ යුතුය. ඒ සඳහා තවමත් ජනාධිපතිවරයාට නිසි බලතල හිමිව නැත.

විසුරුවා හැරීමේ බලතල ජනාධිපතිවරයාට හිමිවන්නේ තවත් මාස කිහිපයක් ගතවීමෙනි. ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ තුනෙන් දෙකක කැමැත්ත ප්‍රකාශ විය යුතුය. නැතිනම් ජනමත විචාරණයකට යා යුතුය. මේ ව්‍යවස්ථා ගැටලු විසඳා ගැනීම පහසු නැත. මෙබඳු පසුබිමක් තුළ දැන් එළැඹ ඇති පහසුම කාර්යය වන්නේ සර්වපාක්‍ෂික ආණ්ඩුවකට පසුබිම සැකසීමය. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් නියමයක් නැතත්, ඊට බාධාවක්ද නැත. එබැවින් මේ මොහොතේ කළ හැකිව තිබෙන්නේ මහ මැතිවරණයකට නොයා ඊට සුදුසු වාතාවරණය සකසනුවස් සර්වපාක්‍ෂික හෝ පාර්ලිමේන්තු සම්මත ආණ්ඩුවකට මඟ පාදා ගැනීමය. අතිගරු මහ නායක මාහිමිවරුන්ගේ යෝජනාවද එයයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැමැත්තද එයයි.

සර්වපාක්‍ෂික ආණ්ඩුවක් යනු සමඟි සන්ධාන රජයකි. එවැනි ආණ්ඩුවක විපක්‍ෂයක් නියෝජනය නොවෙයි. විපක්‍ෂයටද ආණ්ඩු පක්‍ෂයේ යම් යම් වගකීම් සපුරාලිය හැකිය. රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින මොහොතක මෙසේ සමඟි සම්මුතියකට එළැඹෙන්නේ නම් එහි කිසිදු දොසක් දැකිය නොහැකිය. රට විපතට පත්ව සිටින මොහොතක එකිනෙකාට ‍ෙදාස් පවරමින් කුළල් කා ගැනීමට වඩා කවුරු කවුරුත් සමඟි සම්පන්නව කටයුතු කරන්නේ නම් මූලික ගැටලු විසඳා ගැනීම පහසු වෙයි.

1953 හර්තාලයෙන් පසුව මේ රටේ ප්‍රබල ජනතා විරෝධයක් මතුවන පළමු අවස්ථාව මේ වසරයි. වර්තමාන දේශපාලන පරිවර්තනය එම අරගලය මඟින් කැඳවන ලද්දකි. රාජ්‍ය බලය හිමි පාර්ශ්වය මේ මොහොතේ රටේ සාමාන්‍ය නීතිය ආරක්‍ෂා කිරීම සඳහා බැඳී සිටිය යුතු නමුත් අරගලයේ අලගිය මුලගිය තැන් සොය සොයා අදිසි දඩයමකට අරඇඳීම නුසුදුසුය. ජන අරගලයකදී දෙපාර්ශ්වයෙන්ම යම් යම් වැරැදි සිදුවිය හැකිය. ඒ සම්බන්ධව නීතිය, යුක්තිය ඉටුවිය යුතු බවද පැහැදිලිය. එහෙත් අරගලකරුවන් ලුහුබඳිමින් ඔවුන් එකිනෙකා අත්අඩංගුවට ගනිමින්, අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙන ආකාරයට කටයුතු කිරීමෙන් මේ රට සාමකාමී වාතාවරණයකට කැඳවා ගැනීමේ කාර්යය තවදුරටත් කල්යනු ඇත. සර්වපාක්‍ෂික ආණ්ඩුව අවශ්‍ය වන්නේ මෙබඳු ගැටලු සාමකාමීව විසඳා ගැනීමටය.

69 ලක්‍ෂයක ජනතා කැමැත්ත මත වහසි බස් දෙඩූ කාලය දැන් අවසන්ය. එහෙත් මහජන කැමැත්ත මත පත්වූ මහජන නියෝජිතයන්ගේ ධුර කාලය තවමත් අවසන්ව නැත. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නැත. විධායක බලතල යොදා ගනිමින් පළාත් පාලන සභිකයන්ගේ ධුර කාලය දැනට වසරකින් දිග්ගස්සාගෙන තිබේ. ඒ කාර්යය වුවද ජනතා හිතෛෂී පියවරක් නොවේ. එහෙත් මේ රටේ ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එවැනි අනීතික කටයුතු සඳහා ඉඩකඩ ලබාදී තිබේ. වරද ඇත්තේ එතැනය.

කිසියම් කාල පරිච්ඡේදයකට වරක් තෝරා පත් කරගන්නා ලද මහජන නියෝජිතයන් අතින් සිදුවන්නේ තමන් අභිමත දෙයක් කිරීමත්, ඒ කාලය තුළ මහජනතාවට බොරු දෙසාබෑමත්ය. මේ ජින් ජැක් රූසෝ දේශපාලකයන්ගේ නිරුවත හෙළි කරමින් කී කතාවකි. කිනම් වැරදි අතපසුවීම් තිබුණත් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද්‍රෝහී වන්නට අපට පුළුවන්කමක් නැත. කළ යුතුව ඇත්තේ පැලැස්තර දම දමා තවදුරටත් මේ විජ්ජුම්බරය හිස මත තබාගෙන පෙරහරේ ගෙන යෑම නොවේ.

රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමය. සර්වපාක්‍ෂික ආණ්ඩුව ඒ සඳහාද කදිම අවස්ථාවක් වනු ඇත. සියලු පක්‍ෂ එකමුතු වුණු කල නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ ඡන්ද බලය ලබා ගැනීම අපහසු වන්නේ නැත. ඒ වෙනුවෙන් ලැබෙන මේ ස්වර්ණමය අවස්ථාව මඟහැර පසුතැවෙන්නට ඉඩ නොතැබීම වගකිවයුතු සියලු පාර්ශ්වවල යුතුකමය.

ගිය දේ ඇතුන් ලවාවත් අද්දවන්නට බැරිය කියා කතාවක් තිබේ. සර්වපාක්‍ෂික ආණ්ඩුවක් ගැන කතාබහ කොට එකඟතා ඇති කර ගන්නට මේ හොඳම අවස්ථාවය. මේ මොහොතත් නිකරුණේ ගෙවී යන්නට ඉඩ නොදී රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්නට සියලු පාර්ශ්ව අත්වැල් බැඳගත යුතු මොහොතයි මේ. උදාවී තිබෙන මේ වටිනා මොහොත ඉතිහාසයේ අදිසි අවස්ථාවක් බව අප අමතක නොකළ යුතුය.