ඉන්දීය හිටපු දඟ පන්දු යවන්නා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලට සමුදෙයි

0
25

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් පිලේ ඉන්දීය තරග සංචාරය ආසන්නව තිබියදී දඟ පන්දු පුහුණුකරුගේ සේවය ඕස්ට්‍රේලියානුවන්ට අහිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවන්හි දක්ව තිබුණේ ඉන්දීය ජාතික දඟ පන්දු පුහුණු විශේෂඥයකු වන සිද්ධාර්ථන් ශ්‍රී රාම් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සමඟින් වසර 6ක සේවා කාලය නිමා කිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේ නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී රාම් නුදුරේදීම ඉන්දීය ජාතික තළයේ පුහුණුකාරීත්වයක් භාරගැනිමට නියමිතව තිබීම හේතුවෙන් මෙලෙස ඕස්ට්‍රේලියානු පුහුණු කාර්යමණ්ඩල සාමාජිකත්වයට සමුදීමට තීරණය කර ඇති බවයි.

2000 වසරේ සිට 2004 වසර දක්වා ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කර තිබූ ශ්‍රී රාම් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමෙන් අනතුරුව 2008 වසරේ සිට පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබිණි. ඒ අනුව 2015 වසරේදී පළමු වරට ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ සහාය පුහුණුකරුවකු ලෙස එක්වීමේ අවස්ථාව ශ්‍රී රාම්ට උදාවී තිබිණි.

ඔහුගේ මඟපෙන්වීම යටතේ ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් ජයග්‍රහණ රැසක් තම කණ්ඩායම වෙත ළඟා කළ බව මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කර තිබූ නිවේදනයක දක්වා තිබිණි.