ඉන්දියාව සහ චීනය අතර මිත්‍රත්වයට මාවතක්

0
51

ආර්ථික හා දේශපාලන අර්බුදයක සිටින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දේශපාලන අර්බුදයකද පැටැලෙන ලකුණු නිර්මාණය වී තිබේ. චීනයට අයත් විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් බව දක්වන යුවාන් වැන්ග් – 5 ලබන අගෝස්තු එකොළොස්වැනිදා හම්බන්තොට වරායට සේන්දුවීමට නියමිතය.  ඉන්දියන් සාගරයට පැමිණ දින කිහිපයක් ගත කරන්නට යෝජිත මෙම නැව ශ්‍රී ලංකාවේ නැංගුරම්ලෑමට ඉඩදිය යුතු නැති බව ඉන්දිය මතය වී තිබේ. මෙය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව ප්‍රකාශ වී ඇත. මෙම තීරණාත්මක අවස්ථාවේදී වුවමනාවටත් වඩා මිතුරන් ඇතිකරගත යුතුව ඇති ශ්‍රී ලංකාව කිසිසේත් සතුරන් නිර්මාණය කරගැනීමට වෑයම් කළ යුතු නැත. රටවල් දෙකක් අතර පවතින ඇතැම් මතභේද සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අතරමැදියකු බවට පත් වුවහොත් එය අවාසියකට හේතුවනු ඇත.

ඇතැම් මාධ්‍යවලින් ප්‍රකාශ වී ඇති පරිදි මෙම පර්යේෂණ නෞකාව සිය දීර්ඝ සංචාරය ආරම්භ කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ නිල කාලය තුළ තිබුණු අනුමැතියක් පරිදි බව දැක්වේ. නිලධාරීහු එයට අනුමැතිය දී ඇති බව දැක්වේ. චීනයට අයත් ආරක්ෂක නැව් ගණනාවක් මෙයට කලින් මෙරටට පැමිණ තිබේ. මෑත කාලයේදී පර්යේෂණ නැව් පැමිණි වාර ගණන පහක්  බව දැක්වේ. රට තුළ අරගල පැවැති, දේශපාලනය ව්‍යාකූල ස්වභාවය ඉදිරියේ නිලධාරීහු සිය පැරණි ලිපිගොනුවල තීරණ එලෙසම ක්‍රියාවට නංවා ඇත. එහෙත් හම්බන්තොට වරායට එන්නට යෝජිත නැව විශාල තාක්ෂණික පහසුකම් සහිතය. සැටලයිට් පරීක්ෂණ හැකියාව ඇති අතර හම්බන්තොට සිට ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ වරාය හයක් නිරීක්ෂණය කළ හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය දක්වයි. එය බරපතළ තත්ත්වයකි.

ඉන්දියාව හා චීනය අතර පවතින බැඳීම් සම්බන්ධයෙන්…

ඉන්දියාව බටහිරට නැඹුරුය. චීනය ඔවුන්ගේ අනන්‍ය භාවිතාවක සිටී. රුසියාව සහ චීනය අතර මිත්‍රත්වයක් ඇත. ජපානය හා ඉන්දියාව චීනයට එරෙහි කඳවුරේ සිටිති. ආර්ථික හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රවාහය ඉදිරියේ බටහිරට අවනත නැති උපාය මාර්ග චීනය අනුගමනය කරමින් සිටී. ස්වකීය බලය පතුරුවන්නට හැකි සීමාව දක්වා හිස ඔසවන්නට උත්සාහ කිරීම මෑත කාලයේ දැකිය හැකි ස්වභාවය විය. ජාත්‍යන්තරය වෙත සම්බන්ධ වන බෙල්ට් ඇන්ඩ් රෝඩ්  ව්‍යාපෘතිය ඇමරිකාව හා ඇමරිකාවට හිතවාදී රටවල් සසල කරන ලද බව සඳහන් කළ යුතුය. ආධාර අවශ්‍ය රටවලට නොමසුරුව ඉඩ දෙන අතරවාරයේ චීනයේ සිට දකුණු අප්‍රිකාව දක්වා අලුත් නාවික සැපයුම් මාර්ගයක් සලකුණු කරමින් සිටින අතර එයට ශ්‍රී ලංකාවද අයත්ය.

චීන ණය ආධාර යටතේ හම්බන්තොට වරාය ඉදිකරන්නේ මෙම අලුත් මුහුදු මාර්ගයේ එක නවාතැනක් වශයෙනි. කෙසේ වෙතත් 2010 වසරේදී හම්බන්තොට වරාය ඉදිකරන්නට ලබාගත් ණය ගෙවාගත නොහැකි වූ ශ්‍රී ලංකාව එම වරාය චයිනා මර්චන්ට් සමාගමට වසර 99ක මෙහෙයුම් කාලයක් සඳහා පවරන්නේ 2017 වසරේදීය.

චීන සමාගමක පාලනයට අයත් හම්බන්තොට වාරයට එන පර්යේෂණ නෞකාව සම්බන්ධයෙන් එරෙහි වෙන්නට ඉන්දියාව දරන උත්සාහය තුළ මෑත කාලීනව වේගයෙන් දියුණු වූ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ද ඇතුළත්ය. ආර්ථික අර්බුදය පැන නැඟෙන මූලික අවධියේ ශ්‍රී ලංකාව සිය මිතුරු රටවලින් වහා ආධාර ඉල්ලා සිටි නමුත් ඉන්දියාව හැර අනෙක් රටවල් අත දිගහැර සහාය දක්වන්නට ඉදිරිපත් වූයේ නැත. වාර්තා දක්වන පරිදි කුලුනුු හතරකින් යුත් සැලැස්මක් සහිතව ශ්‍රී ලංකාවට ආධාර කරන ඉන්දියාව අද වන විට ඇමරිකානු ඩොලර් බිලියන හයක් පමණ ප්‍රතිපාදන රටට සපයා තිබේ. එය චීන ආයෝජනවලට වඩා ගැඹුරු ප්‍රවණතාවකි. කිසිදු කොන්දේසියකට යටත් නැති අතර ආයෝජනය හා සංචාරක කටයුතු තවදුරටත් උපකාර වන අභිලාශයක සිටී.

අසල්වැසියාට වරද භාර පැවැරීමේ විපාක

කලාපයේ බලවතා ඉන්දියාව වන අතර අසල්වැසි කුඩා රටවලට ඔවුන්ගේ ආකෘතියකට අනුව ක්‍රියා කරන්නට සිදුවේ. එය ලෝකයේ සෑම තැනකම පොදු සිද්ධාන්තයකි. දශක හතරකට පමණ කලින් කාලයේ ඇමරිකාවට සමීපවීමට ශ්‍රී ලංකාව දරන ලද ප්‍රයත්නය පරාජය කිරීම ඉන්දියාවේ එකල වුවමනාව වූ අතර මෙකල එහි අනෙක් පැත්ත සිදු වී තිබේ. ශ්‍රී ලංකාව චීනය දෙසට නැඹුරුවීම වළක්වාගන්නට ඉන්දියාව විශාල ප්‍රයත්න දරයි.

ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු සිංගප්පූරුව වැනි සාර්ථක රටක දැක්මය. තමන්ට න්‍යාය පත්‍රයක් සකස් කරගත යුතුය. ලෝකයේ රටවල් සමඟ ගනුදෙනු කරන තරගකාරී අනන්‍ය විලාශයක් නිර්මාණය කරගැනීම වැදගත්ය. ආණ්ඩු වෙනස්වන විට ප්‍රතිපත්ති හරවන ක්‍රමවලින් අසල්වැසියා පමණක් නොව දුරස්ථව වෙසෙන ප්‍රබල හිතවතා යන දෙපාර්ශ්වයම අහිමිවේ.

අඛණ්ඩව චීනයට හෝ අනෙක් ආණ්ඩුව පැමිණි පසු එහි ප්‍රතිවාදීන් සේ සලකා ඉන්දියාවට නැඹුරුව රටක දර්ශනය විය යුතු නැත. පාලකයන් පමණක් නොව විපක්ෂ දේශපාලන පක්ෂද රටට හිතකර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අවශ්‍ය කෙරේ. ආණ්ඩු ගන්නා තීරණවලට එරෙහිව පාරට බහින විරුද්ධ පක්ෂ පවා ඔවුන් බලයට පත් වූ පසු කලින් කල සිදුවීම්වල පැල්ලම් තුරන් කරගැනීම කිසිසේත් පහසු නැති බව වටහා ගෙන තීරණ ගත යුතුය. අභ්‍යන්තර දේශපාලනය අනුව හැසිරීම සහ ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීම වෙනස් කලාවකි.

ශ්‍රී ලංකාව මුහුණදී ඇති පර්යේෂණ නෞකාව සම්බන්ධ පරස්පරතා රටක් වශයෙන් කල්පනා කරන ගෞරවය දිනාගත හැකි විස¾දුමක් කරා යොමු කිරීමට දේශපාලනඥයන් තීන්දු කළ යුතුව ඇත. මෙම අවස්ථාවේදී අවශ්‍ය නැති ක්‍රියාකාරකම්වලට මැදිහත් නොවන අතර ශක්තිමත් තීරණයක් ගෙන චීන නෞකාව වැළැක්වීමට උපරිම උත්සාහයක නිරතවීම ඥානාන්විත වනු ඇත.

චීනයේ ආධාර ස්වභාවය සහ අනතුරකට මඟ

කොළඹ වරාය නගරය, මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය ඇතුළු ආර්ථික කටයුතුවලට මැදිහත්වන චීනය එය දෙරට අතර ශක්තිමත් මිත්‍රත්වයේ සලකුණු වශයෙන් නම් කරයි. චීනය බිහිවීමත් සමඟ එය මුල්වටයේදීම පිළිගත් රටවල් අතරින් ශ්‍රී ලංකාව ද එකකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ආහාර අර්බුදයක් පැවැති අවස්ථාවේදී චීන ශ්‍රී ලංකා රබර් සහල්  ගිවිසුම අත්සන් කෙරිණ. එය එකල රටට ලැබුණ විශාල සහනයකි.

ශ්‍රී ලංකාවට ආධාර කරන චීනය එය තමන්ගේ ආරක්ෂක මැදිහත්වීම්වලටද උපයෝගි කරගනී. ඉන්දියානු විරෝධය මැද 2014 වසරේදී කොළඹ වරායට පැමිණි සබ්මැරීන් යාත්‍රාව එයට එක උදාහරණයකි. ඉන්දියන් සාගර කලාපයේ තිබිය යුතු සමතුලිත බව හා විවෘත භාවයට අභියෝග කරමින් අනෙක් රටවලට නොදැනෙන පරිදි පැමිණි මෙම සබ්මැරීනය කලාපයේ මිත්‍රශීලී භාවයට ගැළපෙන අවස්ථාවක් බවට පත් වූයේ නැත.

ශ්‍රී ලංකාව චීනයෙන් අපේක්ෂා කරන කාරණා දෙකක් ඇත. එකක් දැනට ඇති චීන ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි අවශ්‍යතාව පෙන්වාදී ඇති අතර චීනය හැර අනෙක් රටවල් හා වාණිජ මූල්‍ය සැපයුම්කරුවන් ණය ගැන නැවත සලකා බලන්නට එකඟ වී සිටී. එය පදනම් කරගෙන මූල්‍ය අරමුදලේ ආධාර සැපයෙනු ඇත. ණය ප්‍රතිව්‍යුහගත කරන්නට එකඟ නැති චීනය එම ණය ගෙවන්නට තවත් ණය මුදලක් යෝජනා කරයි. ඇමරිකානු ඩොලර් බිලියන හතරක පමණ එම ණය සඳහා සූදානමක් ඇති අතරවාරයේ පර්යේෂණ අරමුණු සහිත නෞකාවක් හම්බන්තොට දිසාවට යාත්‍රා කිරීම එක්තරා ආකාරයක සරදමකි.

විනිමය උත්පාදනය හැර අනෙක් පියවරක් නැත

මෙම මොහොතේ ශ්‍රී ලංකාවට විදේශ වත්කම් අවශ්‍යව ඇත. ආරක්ෂක බලය හෝ පර්යේෂණ අවස්ථා වෙනුවට විනිමය උත්පාදනය කරන යෝජනා අවශ්‍යය. ආයෝජන කඩිනම් කළ යුතුව ඇත. අද පවතින ස්වභාවය අනුව රටට අවශ්‍ය ඛනිජ තෙල් මිලදී ගන්නට පවා විනිමය නැත. ඇඟලුම් අපනයනය, සංචාරක ව්‍යාපාරය හා තේ අපනයන අංශ පවා දුර්වල තැනක පසුවෙයි. 

කොවිඩ්  වසංගතය සමඟ ඇති වූ තත්ත්වය හා රට තුළ බලපවත්වන ලද ව්‍යාකූලතා හමුවේ පත්ව ඇති මුහුණුවර වෙනස් කරන්නට ශ්‍රී ලංකාව නොනිත් උත්සාහයක සිටී. ජාත්‍යන්තර ප්‍රජාව මෙම පසුබිම ගැන සැලකිල්ල යොමු කළ යුතු අතර දුර්වල තැනට වැටුණු රටක් ගොඩනඟන මුවාවෙන් අනෙක් ප්‍රයෝජන සඳහා සූදානම්වීම සුදුසු නැත. 

රට තුළ ඇති කැලඹිලි තුරන් කරගෙන දේශපාලන ස්ථාවරභාවය ඇතිකරගත යුතු බව ලෝක බැංකුව නොබෝදා ප්‍රකාශ කර තිබිණි. දේශපාලන වශයෙන් ස්ථාවරභාවයක් ප්‍රකාශවන තුරු ශ්‍රී ලංකාවට ආධාර කළ නොහැකි බව ඔවුන් ප්‍රකාශ කර ඇති බව සඳහන්ය. ලෝක බැංකුව ආධාර කරන රටක් නමුත් අඩු ආදායම් රටවලට සහාය වීමට සූදානමින් සිටී. ශ්‍රී ලංකාව මැදි ආදායම් රටකි. කොවිඩ් වසංගත තත්ත්වයට කලින් තිබුණ එම ශ්‍රේණිය දැන් කොතැනකද යන්න පැහැදිලි නැත. මැදි ආදායම් රටකට සහන නැත. ලෝක බැංකු ආධාර නොලැබේ. ශ්‍රී ලංකාවට වාණිජ ණය ගැනීමට සිදුවූ පසුබිම එයයි. එයද අවධානයට ගත යුතු අංශයකි.

ජනතාව එකතු විය යුතු තීරණාත්මක මොහොත

ශ්‍රී ලංකාව චීනයට නතු වන බව පසුගිය කාලයේ තිබුණ විශාල විවේචනයකි. කොවිඩ්  වසංගත කාලයේදී එන්නත්වල සිට සියලු දෑ චීනයෙන් ලැබිණි. එහෙත් ආණ්ඩුවල ප්‍රතිපත්ති වෙනස්වීම සමඟ පසුබිම වෙනස් විය. චීනයට කොවිඩ්  සම්බන්ධයෙන් නැඟෙන අපවාද මැද වහාම ශ්‍රී ලාංකික සිසුන් විශේෂ ගුවන් යානයකින් කැඳවන ලද අතර සමීප මිතුරකු ගත් එම ක්‍රියාමාර්ගය එරට බලධාරීන්ට නොගැළපුණු එකකි. අනෙක තවත් බරපතළ කාරණයකි. ජනතාවගේ විරෝධය මැද චීන සමාගමක කාබනික පොහොර ඇණවුම අවලංගු කළේය. නැව වරායට පැමිණි අතර ආපසු හරවා යවන ලද අතර පසුව පොහොර සඳහා වන්දි ගෙවන්නට රටට සිදුවිය. මේවා ජාත්‍යන්තර පසුබිම සමඟ සලකනවිට චීනයට කරන ලද නරක තීන්දු බව සඳහන් කළ යුතුය. හම්බන්තොට නැංගුරම් සඳහා අවසර දී ඇති පර්යේෂණ නෞකාවක් බව දක්වන එහෙත් මිසයිල්  පද්ධති ගැන පවා නිරීක්ෂණය කළ හැකි නැව ඇතුළුවීම තහනම් කරන නිවේදනයක් විදේශ අමාත්‍යාංශය නිකුත් කරන්නට ඉඩ තිබේ. එය වෙනත් වටයකින් පීඩනයක් ඇති කරනු නිසැකය.

ඉන්දියාවද ශ්‍රී ලංකාව දෙස වුවමනාවටත් වඩා අධීක්ෂණය කර තිබේ. සිය විදේශ වත්කම්වලින් බිලියන හයක් පමණ පිරිනමන්නේ එරට ආර්ථික වර්ධනය මෙම වසරේදී 0.5ක් දක්වා ගැඹුරු පසුබෑමකට ලක්ව ඇති අතරවාරයේය. ඉන්දියාව ඉදිරියට දෙන සහාය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වනු ඇත. චීනයට හෝ ඉන්දියාවට විරෝධය පළ කරන පටු දේශපාලන කටයුතු සහ පෙළපාළිවලින් ජාත්‍යන්තරයට පලක් නැත.

ඒවායෙන් ප්‍රතිප්‍රහාර එල්ලවන අතර ප්‍රතිඵල දැනෙන්නේ මතුවටය. සාමකාමීව, සියලු පැති සලකා විද්වත් තීරණ ගත යුතුව ඇත. රට වැසියන් සහ දේශපාලන පක්ෂ මෙම තීරණාත්මක අවස්ථාවේදී ආණ්ඩුව සමඟ එක තීරණයක සිටිය යුතු අතර රට බෙදීම තවත් අනතුරකට හේතුවකි. එහි වාසිය ප්‍රතිවාදීන් අතට පත්වේ. සෑම බලවත් රටකම ආධාර, එහි පිටුපස ඇති උපාය අපට නොපෙනෙන අංශ බව නොකිවමනාය. මධ්‍යස්ථව, සුපරීක්ෂාකාරීව තීරණ නොගතහොත් බලවත් රටවල ඔත්තු සේවා ශ්‍රී ලංකාව නැවත අනතුරක් කරා තල්ලු කරන්නට සමත්වනු නිසැකය. එයින් විපතකට පත්වෙන්නේ එදිනෙදා ජන ජීවිතය බව අවධාරණය කළ යුතුව තිබේ.

ශාමින්ද වත්තේගෙදර