අලෙවිකරණය ‘ශ්‍රී ලංකා’ සන්නාමය ලොව තුළ ප්‍රවර්ධනය කිරීමේ ගාමක බලවේගය බවට පත්කිරීමට කටයුතු කරනවා

0
38

මෙරට අලෙවිකරුවන් වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM හඳුන්වා දිය හැකිය. අලෙවිකරුවන්ගේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම අරමුණු කරමින්. විවිධ පාඨමාලා මෙන්ම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන SLIM ආයතනයේ නව සභාපතිවරයා ලෙස අති දක්ෂ අලෙවිකරුවකු වන නුවන් ගමගේ මහතා පත් වූ අතර. අප ඒ මහතා සමඟ සාකච්ඡා කළේ නව තනතුරත් සමඟ ඔහුගේ ඉදිරි අරමුණු පිළිබඳව දැනගැනීමේ අටියෙනි. 

SLIM ආයතනයේ අභිනව  සභාපතිවරයා විධියට එම ආයතනයට මඟ පෙන්වීම සම්බන්ධයෙන් ඔබගේ අරමුණු ගැන විස්තර කළොත්

SLIM කියන්නෙ අලෙවිකරණය සඳහා වන ජාතික ආයතනය විධියට හඳුන්වා දුන්නොත් මා නිවැරදියි.  අලෙවිකරණ වෘත්තියේ  පහළම අදියරේ ඉඳල ගොඩනැඟුණු වෘත්තිකයෙකු විධියට අලෙවිකරණ හා විකුණුම් ක්ෂේත්‍රය ගැන මට තිබෙන අවබෝධයත් සමඟ නව සංකල්ප රාශියක් තුළින් අලෙවිකරණය  ශ්‍රී ලංකාව ඊළඟ අදියරට ගෙනයන ගාමක බලවේගය බවට පත්කිරීමටත් ඒ මඟින් මෙම ආයතනයේ ජාතික වැදගත්කම ඉහළ නැංවීමටත් ඉදිරියේදී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

SLIM ආයතනය සමඟ ඔබ මෙතෙක් පැමිණි ගමන ගැනත් ටිකක් කතා කරමුද?

මම මුළුනින්ම 2016 වසරේ දී තමයි SLIM විධායක කමිටුවට තේරී පත් වුණේ. වසර 2ක් විධායක කමිටු සාමාජිකයකු විධියට කටයුතු කිරිමෙන් අනතුරුව  2018 වසරේ දී මම SLIM ආයතනයේ ලේකම්වරයා  විධියටත් 2019 වසරේ දි උප සභාපතිවරයා විධයටත් තේරී පත්වුණා. මම සභාපතිවරයා විධියට තේරී පත්වීමට කලින් අඛණ්ඩව වසර 2ක් උප සභාපතිවරයා විධියට කටයුතු කළා.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණය ඇඟයීම වෙනුවෙන් SLIM සම්මාන කළඹට Digital Marketing සම්මානයක්  ලෙස Slim Digis කියන සම්මාන අංශය එකතු කිරීමට මට හැකියාව ලැබුණා ඒ වගේම මම SLIM ආයතනය පවත්වාගෙන ගිය තවත් ජාතික මට්ටමේ ව්‍යාපෘති කිහිපයකම ව්‍යාපෘති සභාපතිවරයා විධියට කටයුතු කළ බවත් මතක් කළ යුතුමයි.

ඔබ SLIM ආයතනය තුළ සිදු කිරීමට අරමුණු කරන වෙනස්කම් මොනවාද?

 SLIM ආයතනයේ දැක්ම වෙන්නෙ  ආර්ථික සමෘද්ධිය කරා ශ්‍රී ලාංකේය ජාතිය මෙහෙයවීමයි. ඒ වගේම අපගේ මෙහෙවර තමයි රටේ ව්‍යාපාර සහ ජාතික ආර්ථිකය ඉහළ නංවන ගාමක බලවේගය බවට අලෙවිකරණ ක්ෂේත්‍රය පත්කිරීම.  මෙම අරමුණු සාක්ෂාත් කිරීම වෙනුවෙන් මම මගේ ධුර කාලය තුළ උපරිමයෙන් කැප වෙනවා. ඒ වෙනුවෙන් අධ්‍යාපනය, ව්‍යවසායක අලෙවිකරණය, තිරසර අලෙවිකරණය, ඩිජිටල් අලෙවිකරණය, ජාතික මට්ටමේ පර්යේෂණ සහ උපදේශනය කියන ක්ෂේත්‍ර ඉලක්ක කර ගත් සැලසුම් රැසක් මා සතු වන බවත් පැවසිය යුතුමයි. එම වැඩපිළිවෙළ  සාර්ථක කර ගැනීමට අරමුදල් සැපයීම, උපදේශනය, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් SLIM Start-up Incubator සංකල්පය මුලපිරීමට මම සැලසුම් කරනවා.

ඒ වගේම හරිත සන්නාම ඇගයීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ තිරසර අලෙවිකරණ ක්ෂේත්‍රයක් ගොඩනැඟීම මගේ අරමුණයි.  ඒ මඟින් මේ රටේ ආයතනික පරිසරයන් තුළ තිරසර භාවිතයන් දිරිගන්වමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා  මම කැප වෙනවා.

වර්තමාන සාර්ව ආර්ථික සාධක රටේ අලෙවිකරණ අධ්‍යාපනය ඉහළ නැංවීමට බලපාන්නෙ කොහොමද?

ඕනෑම ජාතියක දියුණුවට බලපාන ප්‍රධානම සාධකය විධියට මා දකින්නෙ අධ්‍යාපනයයි. ඒ වගේම විධිමත් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය අතර සමබරතාවක් තිබිය යුතුයි. SLIM ආයතනය අලෙවිකරණය ගැන වෘත්තීයමය අධ්‍යාපනය ලබා දෙන ජාතික ආයතනයයි. රට තුළ පවතින විදේශ විනිමය ප්‍රශ්නය නිසා සියලුම විදේශීය පාඨමාලාවල මිල ගණන් සැලකිය යුතු විධියට ඉහළ ගිහිල්ල තිබෙන වාතාවරණයක, අපේ පාඨමාලා ඉතා සහනදායි මිල ගණන් යටතේ ලබාදීමට, අපි කටයුතු කරනවා. ඒ වගේම, SLIM ආයතනය ක්‍රියාත්මක කරන පාඨමාලා සියල්ලක්ම ජාත්‍යන්තරව පිළිගත් දේශීයව වගේම ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළට සරිලන වෘත්තිකයන් නිර්මාණය කරන පාඨමාලා බවත් සිහිපත් කළ යුතුමයි.

පවතින අභියෝගාත්මක වාතාවරණය තුළ අලෙවිකරණ අධ්‍යාපන ක්ෂේත්‍රය වර්ධනය කිරීමට ඔබගේ සැලසුම් මොනවාද?

අද අප ඉගෙන ගන්නා දේ හෙට දවසේ රැකියා වෙළෙඳපොළ තුළ අවශ්‍යතා සැපිරිය යුතුයි. මේ රටේ අලෙවිකරණ ක්ෂේත්‍රය වෙත අවධානය යොමු කරද්දී ඩිජිටල්කරණය ඉතා හොඳ ප්‍රවණතාවක්. ඩිජිටල් අලෙවිකරණ සංකල්පයන් මේ රටට හඳුන්වා දෙන ප්‍රධානතම ආයතනයක් විධියට SLIM ආයතනය හැඳින්වුවොත් මා නිවැරදියි. එම ක්‍රියාවලිය ඉදිරියේදී තවත් ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා.

ශ්‍රී ලංකාව තුළ සදාචාරාත්මක අලෙවිකරණයක් ගොඩනැංවීමට SLIM ආයතනයේ දායකත්වය ගැන කතා කළොත්.

පසුගිය වසරේ දී අපි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ ප්‍රචාරණ සංගම්වල සහාය ඇතිව සදාචාරාත්මක අලෙවිකරණ මාර්ගෝපදේශයක් නිර්මාණය කිරීමට කටයුතු කළා. ඒ වගේම ඉදිරියේදී මෙම සදාචාරාත්මක සංකල්පයන් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට වගේම සංවර්ධනය කිරීමට සුවිශේෂී සැලසුම් රාශියක් අප සතුව පවතිනවා. පරිසර දූෂණය කාබන් විමෝචනය සහ දේශගුණික විපර්ස කියන සංකල්පවලට විශේෂ අවධානය යොමු කරමින්  තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමී හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි කැප වන බවත් පැවසිය යුතුමයි.

පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදාගැනීමට අලෙවිකරණ වෘත්තිකයකු විධියට ඔබ ඉදිරිපත් කරන විසඳුම් මොනවාද?

රටේ ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීමට නම් අපට ශක්තිමත් වගේම කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් අවශ්‍යයි. කෙටිකාලීන සැලසුමක් විධියට රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මූලික ලෙස සලකා බැලිය යුතු වෙනවා. ඒ සඳහා රටේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කළ යුතුයි.  දෙවනුව අපි රට වෙනුවෙන් ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කළ යුතුයි එහි දී රට තුළ ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම අනිවාර්යයි. මේ වෙනකොට රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කඩා වැටිලා.  ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් කියන්නේ රටේ ආර්ථිකයකයේ කොඳුනාරටිය විධියට හැඳින්විය හැකියි. ඒ නිසා මෙය හැකි ඉක්මනින් නැවත ගොඩ ගත යුතුමයි. ඒ වගේම අපනයන සඳහා වැඩි නැඹුරුවක් සහිත ආර්ථිකයක් ස්ථාපිත කිරීම වර්තමාන තත්ත්වයෙන් රට ගොඩගැනීමට තිබෙන ඉතා හොඳ විස¾දුමක්.

රටට ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් තිබිය යුතුමයි. ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් විධියට දියුණු කරමින්, සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමත් ඉතා සාර්ථක විසඳුමක්. ගෝලීය නැව් මාර්ග සඳහා සේවා ලබා දෙන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම වගේම  විකල්ප බලශක්ති ප්‍රභවයන් සංවර්ධනයත්, රට ආශ්‍රිතව පවතින ඉන්ධන වැනි ස්වාභාවික සම්පත් ගවේෂණයත්, පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීමත් වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් විධියට දැක්වීමට පුළුවන්. ඊට අමතරව පර්යේෂණ හා නවෝත්පාදන ප්‍රවර්ධනය කරමින් දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සිදු කළ යුතුම වෙනස්කමක් විධියට මම තරයේ විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවේ අනාගත අලෙවිකරණ පරපුරෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද?

අපගේ තරුණ අලෙවිකරුවන් තුළ  තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් නැඹුරුව ඉතා ප්‍රශස්ත මට්ටමක පවතිනවා. ඒ වගේම අලෙවිකරණ ක්ෂේත්‍රය වෙත යොමුවෙන තරුණ තරුණියන්ට මම කියන්නෙ ඩිජිටල් අලෙවිකරණය හැදෑරීමට යොමු වෙන්න කියලා. ඒ වගේම අපේ තරුණ තරුණියන් අතර ව්‍යවසායකත්ව කියන සංකල්පය  ගොඩනැංවිය යුතුමයි. ඒ සඳහා ඔවුන්ට සහයෝගය දක්වමින් ඔවුන් දිරිගන්වන පරිසරයක් නිර්මාණය කිරීම ඉතා වැදගත්.

ඊට අමතරව රටින් පිටවීමට මාර්ග සොයමින් සිටින අපගේ වටිනා තාරුණ්‍යය රට තුළ නවත්වා ගැනීමට ක්‍රියා කළ යුතුමයි. ඒ සඳහා අපි ඔවුන්ට රට තුළ ජීවත්වීමට හැකි පරිසරයක් සාදා දිය යුතුයි. ඔවුන්ගේ අනාගතය සුබදායි එකක් වන බවට විශ්වාසය ස්ථාපිත කළ යුතුයි. එහෙම නැති වුණොත් පුහුණු ශ්‍රමිකයන් හිඟවීමෙන් ඉදිරියේදී මීටත් වඩා විශාල ආර්ථික බලපෑමකට අපිට මුහුණ පාන්න වෙනවා.

ළහිරු ධනංජය පෙරේරා