අයිඩියල් මෝටර්ස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙක්ටි්‍රක් මෝටර් රථය හඳුන්වා දෙයි

0
58

අයිඩියල් මෝටර්ස් විසින් “Ideal Moksha” නමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ටි්‍රක් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වා දීම 2022 ජූලි 28 ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණ. ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථයෙන් ආභාසය ලබා නිපදවනු ලැබූ Ideal Moksha ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳපොළ තුළ පෙරළියක් ඇති කරන්නට සමත් මෝටර් රථයකි.

එමෙන්ම වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින්ද මෙය හඳුන්වා දිය හැකිය. උසස්ම තාක්ෂණය සහ නිර්මාණ සංකල්ප භාවිතය සමඟින් වඩාත් තෘප්තිමත් රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙන නිසාම මෙම රථයට “Moksha” යන නම යොදා ඇත. ශ්‍රී ලංකාවේ මාර්ගවලටත් හොඳින්ම ගැළපෙන මෙම මෝටර් රථය පෙනුම ඉඩකඩ සුවපහසුව සහ සම්බන්ධතාව අතින්ද කැපී පෙනෙයි.

රෝද හතරේ ඉලෙක්ටි්‍රක් කොඩ්‍රිසයිකල් වාහන මාදිලියට අයත් වන Ideal Moksha මෝටර් රථය 2246 kWh ලිතියම් බැටරියකින් සමන්විත වේ. ඇම්පියර් 15 ගෘහස්ථ විදුලි පේනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කිරීමේ හැකියාව ඇති අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා දුරක් ගමන් කිරීමේ හැකියාවද ඇත. කිලෝග්‍රෑම් 870ක බරින් යුතු මෙය 1080 rpm වේගයකින්ද සමන්විතය. වඩාත් ඉඩකඩ සහිත වාහනයක් වූ මෙහි රියදුරු සහ තවත් මගීන් 3 දෙනකුට සුවපහසුවෙන් ගමන් කළ හැකිය. මෙහි පිටත පෙනුම ද්වි වර්ණ සංකලනයකින් යුක්තය.

Apple CarPlay සහ Android Auto යෙදවුම් භාවිත කළ හැකි අඟල් 7ක මල්ටිමීඩියා ස්පර්ශ තිරයකින්ද සමන්විත නිසා පාරිභෝගිකයන්ට තමන් ප්‍රිය කරන ගීත තොරතුරු හෝ සිතියම් වැනි දෑ සඳහා පහසුවෙන් පිවිසීමේ හැකියාව පවතී. පූර්ණ වායුසමනය කළ මෝටර් රථයක් වන මෙහි push start සහ ඇලෝයි වීල් වැනි විශේෂාංගද ඇතුළත් වේ. එමෙන්ම Ideal Moksha රථයේ ඉලෙක්ටි්‍රක් මෝටරය සඳහා වසර 2ක පූර්ණ වගකීමක් සහ බැටරියට මිලදී ගත් දින සිට වසර 5ක් දක්වා වගකීමක් හිමි වේ. දිවයින පුරා පිහිටි අපගේ අලෙවි ජාලය හරහා අසමසම සේවාවන් ලබා ගැනීමේ හැකියාවද ඇත.

ඕනෑම සමාජ තරාතිරමක අයකුට දැරිය හැකි මිලකට ලබා ගත හැකි ඉලෙක්ටි්‍රක් මෝටර් රථයක් වන Ideal Moksha ශ්‍රී ලංකාවේ ගෘහස්ථ භාවිතය සඳහා වඩාත් හොඳින් ගැළපේ මිලියන 1.5ක් ලියාපදිංචි ත්‍රිරෝද රථ සහ මිලියන 4.5ක් ලියාපදිංචි මෝටර් සයිකල් භාවිත වන ශ්‍රී ලංකාව වැනි රටකට මෙය පිරිමැසුම්දායී මෙන්ම ආරක්ෂාකාරී ස්මාර්ට් ප්‍රවාහන විසඳුමකි. පූර්ණ ස්වයංක්‍රිය මෝටර් රථයක් වන මෙහි ගියර් මාරුවක් නොමැතිව ආරම්භයේ සිටම 100%ක ව්‍යවර්ථයක් ලබා දෙයි.

පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් සුවපහසු රියදුරු අත්දැකීමක් විඳ ගැනීමටත් Ideal Moksha ඔබට ඉඩකඩ සලසයි ඉන්ධන අවශ්‍යතාවක් නොමැති නිසා ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් පවතින ලොකුම හිසරදයකින් මිදීමටද පාරිභෝගිකයාට හැකිවේ. මේ සියලු සංකලනයන් සමඟ ඔබ වෙත පැමිණි. Ideal Moksha ශ්‍රී ලංකාවේ ගමන් බිමන් සංස්කෘතියට නව ප්‍රවේශයක් ලබා දෙන බවට සැක නැත. මෝටර් රථයක් ගැන සිහින දකින සාමාන්‍ය පුද්ගලයාගේ සිට වෙළෙඳ ක්ෂේත්‍රයේ විධායක නිලධාරියකු දක්වා පරාසයක ඕනෑම අයකුට ගැළපෙන මෝටර් රථයක් ලෙසද Ideal Moksha අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය.

තිරසර ප්‍රවාහන විසඳුම් සම්බන්ධයෙන් කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයකු වූ අයිඩියල් සමූහයේ නිර්මාතෘ/සභාපති නලින් වෙල්ගම මහතා සහ කාලගුණ විපර්යාස පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රවීණයන් පිරිසකගේ මෙහෙයවීමෙන් Ideal Moksha නිර්මාණය විය. මෙහි සියලු නිෂ්පාදන කටයුතු සිදු කරන ලද්දේ අයිඩියල් සමාගමට අයත් රත්මලානේ පිහිටි හරිත වැඩබිම් පරිශ්‍රයේ දීය. මෙම වැඩබිම පූර්ණ වශයෙන් සූර්ය ශක්තියෙන් බලගන්වා ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් වෙල්ගම මහතා “Ideal Moksha වෙළෙඳපොළට හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඉලෙක්ටි්‍රක් මෝටර් රථයක් නිපදවීමේ මගේ සිහිනය සැබෑ කර ගන්නට අද දවසේ මට හැකියාව ලැබුණා. ප්‍රවේශ මට්ටමේ මොටර් රථයක් වන මෙහි ලෝකයේ හොඳම මෝටර් රථ තාක්ෂණයන්ට අදාළ නව්‍ය විශේෂාංග ගණනාවක්ද ඇතුළත් කොට තිබෙනවා.

මෙවැන්නක් මගේ මවු රටට හඳුන්වා දෙන්නට ලැබීම මගේ 35 වසරක මෝටර් රථ ව්‍යාපාරික අත්දැකීම් අතර සුවිශේෂී සන්ධිස්ථානයක්. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉලෙක්ටි්‍රක් වාහන යුගයේ සමාරම්භයද සනිටුහන් කරනවා” යනුවෙන් පැවසීය.