අනතුර උග්‍ර වෙන්න කලින් කොවිඩ් එන්නත ලබාගන්න

0
21

කොවිඩ් අවදානම යළි වේගයෙන් ඉහළ යමින් පවතින බැවින් කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා යොමු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඊයේ (02දා) විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලීමක් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති මාර්ගෝපදේශ හා උපදෙස් නියමාකාරයෙන් පිළිපදින ලෙසත්, කොවිඩ් වසංගතයට යළි ඉඩ නොතැබීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොවිඩ් සහ මන්කිපොක්ස් වසංගත තත්ත්වය සම්බන්ධව සිදු කළ විශේෂ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

“කොවිඩ් – 19 රෝගීන් හා මරණ සංඛ්‍යාව යළිත් වැඩි වෙනවා. අප්‍රේල් මාසයේ කොවිඩ් රෝගීන් 1731ක් වාර්තා වුණා. කොවිඩ් මරණ 26ක් සිදු වුණා. එම තත්ත්වය මැයි මාසයේදී රෝගීන් 472කට අඩු වුණා. මරණ වාර්තා වුණේ 13යි. ජුනි මාසයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 283යි. මරණ 3යි. නමුත් ජූලි මාසයේ කොවිඩ් රෝගීන් 1616ක් දක්වා වැඩිවී තිබෙනවා. මරණ සංඛ්‍යාව 35ක්. මේ මරණ 35න් 28ක් සිදු වුණේ ජූලි 18 වැනිදායින් පසුවයි. මේ දෙස බැලූ විට තවත් එක කරුණක් පෙනෙනවා. ඒ කොවිඩ් එන්නත කඩිනමින් ලබාදීම කළ යුතු බවයි.

පළමු වටයේදී මිලියන 17ක් එන්නත ලබාගත්තා. දෙවැනි වටයේදී එය මිලියන 14කට අඩු වුණා. තුන්වැනි වටයේදී කොවිඩ් එන්නත ලබාගෙන තිබෙන්නේ මිලියන 8යි. 4 වැනි වටයේදී එන්නත ලබාගෙන තිබෙන්නේ පුද්ගලයන් 22,623 දෙනෙක් පමණයි. තුන්වැනි වතාවෙත්, 4 වැනි වතාවෙත් එන්නත ගත් ප්‍රමාණය විශේෂයෙන්ම බස්නාහිර පළාතේ අඩුවෙලා තිබෙනවා. ඒ නිසා එන්නත්කරණය සඳහා ජනතාව නැවත යොමු කළ යුතුයි.

ලංකාවේ දැනට එන්නත් මිලියන 8ක් තිබෙනවා. එය ඔක්තෝබර් මාසය වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ එන්නත් මිලියන 8 ඔක්තෝබර් මාසයේදී අවසන් කරන්න බැරි වෙනවා. ඒ නිසා කොටසක් වෙන රටකට දෙන්න සිදුවෙනවා. එන්නත ගෙනාවේ ඔබ වෙනුවෙන්. ඒ නිසා එන්නත ලබානොගත් සියලු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා. ඉක්මනින් එන්නත ලබාගන්න කියලා.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ උපදෙස් දෙනවා. ඒ උපදෙස් අනුව සියලු දෙනාම කටයුතු කළ යුතුයි. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය “මන්කිපොක්ස්” වසංගතය පිළිබඳවත් අවධානය යොමු කරලා තිබෙනවා. දැනට එය ලංකාවට පැමිණිලා නැහැ. ලංකාවට එම රෝගය පැමිණීම වැළැක්වීමට පළමුවැනි පියවර ගෙන තිබෙනවා. අවශ්‍ය වුණොත් ප්‍රතිකාර ලබාදෙන්න සැලසුම් සකස් කරගෙන යනවා. මේ අවස්ථාවේදී සෞඛ්‍ය ගැන හිතලා ක්‍රියා කරන්න. මේ රට තුළ යළිත් කොවිඩ් වසංගතයට අවස්ථාවක් දෙන්න එපා කියා සියලු පාර්ශ්වයන්ගෙන් මම ඉල්ලා සිටිනවා.”

විනීතා එම්. ගමගේ