අදත් පළාත් රැසකට තද වැසි: හෙටින් පසු වැස්ස අඩුවේවි

0
12

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙමින් පවතින මහ වැසි හෙටින් (04දා) පසු අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිරිත දිග මෝසම් තත්ත්වයේ සක්‍රිය වීමත්  සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03දා) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සබරගමුව පළාතෙත්, මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය  විටින් විට පැ. කි. මී. 60 – 70 දක්වා වැඩි වන අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැකිය.

එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 3.0 – 3.5 පමණ ඉහළ යෑමේ හැකියාවක් පැවැතිය හැකිය.

ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම් දෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

චන්දන ලක්මාල්