ගෝඨාභයට කිසිදු වරප්‍රසාදයක් ලබා නොදුන් බව සිංගප්පූරු රජය කියයි

0
381

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරු රජය කිසිදු වරප්‍රසාදයක්, මුක්තියක් හෝ ආගන්තුක සත්කාරයක් ලබා නොදුන් බව එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් පවසයි.

රාජපක්ෂ මහතා සිංගප්පූරුවට පැමිණීම පිළිබඳව එරට පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙරල්ඩ් ගියම්ගේ පාර්ලිමේන්තු ප්‍රශ්නයකට ලිඛිත පිළිතුරක් දෙමින් ආචාර්ය බාලක්‍රිෂ්ණන් ඊයේ (අගෝ. 1) මේ බව ප්‍රකාශ කර තිබේ.

එමගින් ඔහු දන්වා ඇත්තේ, සාමාන්‍යයෙන් සිංගප්පූරු රජය හිටපු රාජ්‍ය නායකයින්ට හෝ රජයේ ප්‍රධානීන්ට වරප්‍රසාද, මුක්තිය සහ ආගන්තුක සත්කාර ලබා නොදෙන බව ය.

ඒ අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කිසිදු වරප්‍රසාදයක්, මුක්තියක් හෝ ආගන්තුක සත්කාරයක් ලබා දී නොමැති බව ඔහු අවධාරණය කර ඇත.

රාජපක්ෂ මහතා “පුද්ගලික සංචාරයක්” සඳහා සිංගප්පූරුවට පැමිණියේ ජූලි 14 වන දින බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළේ ය.

අනතුරුව ඔහුගේ කෙටි කාලීන සංචාරක වීසා බලපත්‍රය දින 14කින් දීර්ඝ කර ගෙන ඇති අතර ඒ අනුව ඔහුට අගෝස්තු 11 දක්වා සිංගප්පූරුවේ රැඳී සිටිය හැකි බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් ජූලි මාසයේ සිය හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ රජයට එරෙහිව දියත් වූ දැවැන්ත මහජන විරෝධතා මධ්‍යයේ ජුලි 13 වන දා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ යානාවකින් මාලදිවයිනට පළා ගිය හිටපු ජනධිපතිවරයා පසුව සිංගප්පූරුවට වෙත ගොස් තිබුණේ, ජූලි මස 14 වන දා ය.