විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට දුන් පොරොන්දුවක් ඉටු කිරීමට කැබිනට් අනුමැතිය

0
575

නීත්‍යනුකූල මාර්ග ඔස්සේ විදේශ විනිමය රට තුළට එවන පුද්ගලයින්ට බදු රහිතව විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

අද (අගෝ: 2) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම මාධ්‍ය හමුවේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මේ බව පැවසීය.

ඒ අනුව, ඩොලර් 3,000වැඩි ප්‍රමාණයක් මෙරටට එවා ඇති පුද්ගලයින්ට එම මුදලින් අඩක වටිනාකමකට බදු රහිතව විද්‍යුත් යතුරුපැදියක් මිල දී ගැනීමට අවස්ථාව හිමි වන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ත්‍රිරෝද රථ සඳහා මෙම සහනය ලබා නොදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, ඩොලර් 20,000ට වැඩි ඕනෑ ම මුදලක් මෙරටට එවා ඇති පුද්ගලයින්ට එම මුදලින් හරි අඩක වටිනාකම උපරිමය ඩොලර් 65,000ක් දක්වා වන පරිදි විද්‍යුත් මෝටර් රථයක් මෙරටට ගෙන්වීමට අවසර හිමි වන බව ය.

එම මෝටර් රථය කිලෝමීටර් 300-500ත් අතර ධාවන පරාසයක විය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

එමෙන් ම, එම වාහන ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය විදුලි බලය සපයා ගැනීමට එම පුද්ගලයා විසින් ම සූර්ය බල පද්ධතියක් ද මිල දී ගනු ලැබීම හෝ ආනයනය කිරීම සිදුකළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, එම වාහන ජාතික විදුලි බල පද්ධතිය හරහා ආරෝපණය කිරීමට අවසර හිමි නොවන බව ය.