හාල් හිඟයක් නෑ: රටින් ගෙන්වීම නතර කරන්න

0
30

අවශ්‍ය තරම් සහල් රට තුළ දැනට තිබෙන බැවින් සහල් ආනයනය ලබන දෙසැම්බර් මාසය වන තෙක්   තාවකාලිකව අත්හිටුවන්නැයි   කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර රජයට යෝජනා කරයි. යල කන්නයේ වී අස්වනු නෙළන අවස්ථාව වනවිට සහල් තවදුරටත් ආනයනය කිරීම නිසා   ගොවීන් විසින් වගා කරන ලද වී කුණු කොල්ලයට ඇතැම්  සහල් මෝල් අයිතිකරුවන් විසින් මිල දී ගන්නා බවත් ඉමහත් දුෂ්කරතා මැද ගොවීන් වගා කළ වී අස්වැන්නට උචිත මිලක් නොලැබීම නිසා ඔවුන් කලකිරීමට පත්වීම වළක්වා ගැනීම සඳහා මෙම තීරණය ගන්නා බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙළමින් පවතින බවත් සහල් ආනයනය කිරීමට රජය විසින් ලබා දුන් අවසරය මත  රටට අවශ්‍ය තරම් සහල් ආනයනය කර තිබෙන බවත් හෙතෙම  සඳහන් කළේය.

එමෙන්ම එම අවසරය මත සහල් ආනයනකරුවන් විසින් ඇති තරම් තොග ගබඩා කර ඇති බවට තොරතුරු ද ලැබී ඇතැයි කෘෂි බීජ ආනයනකරුවන්ගේ සංගමය සමඟ ඊයේ (01දා)  පැවැති සාකච්ඡාවක දී හෙළිවූ බවද අමාත්‍යවරයා කීය.  සහල් ආනයනය නතර කිරීමෙන් රට තුළ ඉතිරිවන විදේශ විනිමය ප්‍රමාණය කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා වන වල්පැළ නෙළන යන්ත්‍ර, බීජ ඉසින යන්ත්‍ර හා ට්‍රැක්ටර් රථ, වතුර මෝටර් වැනි යෙදවුම් මිලදී ගැනීම සඳහා භාවිත කිරීමට රජයට යෝජනා කරන බවද ඔහු පැවැසීය. ඉදිරි මාස් කන්නයේදී හෙක්ටෙයාර් 60,000ක  බඩඉරිඟුª වගා කිරීම සඳහා පියවර ගන්නා ලෙස ඇමැතිවරයා බීජ ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

ඒ සඳහා අවශ්‍ය කෘෂි යෙදවුම් ලෙස දිවයිනේ සියලුම ට්‍රැක්ටර් රථ ලියාපදිංචි කිරීම, ඉන්ධන කෝටාවක් ලබාදීම, බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය ඉඩම් ලබා දීම ඇතුළු සියලු පහසුකම් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබා දෙන බවද ඔහු කීය.

මේ අතර අර්තාපල්, මිරිස්, හා එළවළු වගාව සඳහා අවශ්‍ය බීජ ආනයනය සඳහා දැනටමත් කටයුතු යොදා ඇති බවත්, රටට අවශ්‍ය කෘෂි නිෂ්පාදන සඳහා තම සංගමය මැදිහත්වී කටයුතු කරන බවත් කෘෂි බීජ ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයෝ පැවැසූහ.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නිර්මාණි ගුණරත්න