හිටපු ජනපතිට යළි මෙරටට එන්න ඇරයුම් කොට ආරක්‍ෂාව හා වරප්‍රසාද ලබා දෙන්න

0
253

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට යළි මෙරටට පැමිණෙන ලෙස පෞද්ගලිකව මැදිහත් වී ඇරයුම් කරන්නැයි පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ ජනපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කරති.

ඔහුට අවශ්‍ය ආරක්‍ෂාව හා හිටපු ජනපතිවරුන්ට හිමි සියලු වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටිති.

හිටපු ජනපතිගේ ආරක්‍ෂාව හා අයිතිවාසිකම් සුරක්‍ෂිත කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ මේ ඉල්ලීම සිදුකර ඇත.

උන්වහන්සේ ජනපති රනිල් වික්‍රමසිංහට යොමු කළ ලිපියේ මෙසේද දැක්වේ.

“ඉතිහාසයේ කිසිදා නොවූ විරූ දේශපාලන, ආර්ථික හා සාමාජික අර්බුද රැසකට අද අප මුහුණ දී ඇත්තේය. මේ රටේ සිංහල බෞද්ධ අති බහුතරයකගේ ජනමතයෙන් බලයට පත්වූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මේ වනවිට සිය රටද හැරදා ගොස්ය. එතුමන් විසින් ස්වකීය ද්විත්ව පුරවැසිභාවය පවා අහිමි කරගත්තේ මේ රටට අවංක සේවයක් ඉටුකිරීමේ අපේක්‍ෂාවෙනි. එහෙත් 74 වසරක දේශපාලන ඉතිහාසයේ බොහෝ අය විසින් කළ වැරදිවලට වන්දි ගෙවීමට සිදුවී ඇත්තේ වැරදි නොකළ සාමකාමී පුද්ගලයකුට වීම අභාග්‍යයට කරුණකි. සාමාන්‍ය පුරවැසියකුට හිමි රට තුළ ජීවත්වීමේ වරප්‍රසාදයවත් නොලබා තම රට හැර යෑමට එතුමන්ට අවශ්‍ය නැත. ඔහු මේ රටේ ගෞරවනීය පුරවැසියෙක් මෙන්ම අපට රටක් හිමිකර දුන් ප්‍රබල පුරවැසි උරුමකරුවකු බව අමතක නොකළ යුතුය.

මවුබිම දෙකඩ කිරීමට දමිළ කොටි ත්‍රස්තවාදීන් විසින් 30 වසරක් පුරා ගෙනගිය කුරිරු යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන්නේද මේ අභීත රණ විරුවාණන්ය. සිංහල, දමිළ, මුස්ලිම් හැමෝම අද බියෙන් සැකෙන් තොරව රට තුළ ජීවත් වන්නේ එතුමන් නිසාය.

එමෙන්ම එතුමන් මේ රටේ 69 ලක්‍ෂයක් වන බහුතර සිංහල බෞද්ධ පුරවැසියන්ගේ බොහෝ වූ බලාපොරොත්තු ඉටු කිරීමේ අපේක්‍ෂාවෙන් පසු වුවද අවාසනාවකට ලොවම වෙළාගත් කොරෝනා වසංගතය හමුවේ මරණ බියෙන් වෙළී සිටි ජනතාව ඉන් මුදා ගැනීමේ තවත් මෙහෙයුමක නිරත වීමටද එතුමන්ට සිදුවිය.

මෙලෙස සිය පාලන සමයේ ආරම්භයේදී පටන්ම වසර දෙකක් පුරා පැවැති මෙම කොවිඩ් වසංගතය හමුවේ රටට විදේශ ආදායම් අහිමි විය. ජනතාව වෙත සහන සැපැයීමට සිදුවිය. නිෂ්පාදනය අඩාල විය. බදු සහන ලබා දීමට සිදුවීම හා ගෝලීය යුදමය තත්ත්වයන් හමුවේ මේ රටේ ආර්ථිකය බරපතළ ලෙස කඩා වැටීමක් සිදුවිය. මේ හේතුවෙන් ජනතාව අති මහත් පීඩාවට පත්වූ බව නොරහසකි.

මේ සමඟම ගරු ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් අරගලයක් ක්‍රියාත්මක වීම අවස්ථාවාදී අන්තවාදී ක්‍රියාවක් බව අරගල භූමියේ සිද්ධි තුළින් ඔප්පු වෙමින් පවතී. පීඩිත ජනතාව අරගලයකට යොමු කොට ඒ වටා කුමන්ත්‍රණකරුවන් කඳවුරු බැඳ ගත් බවද පෙනී යයි. රට තුළ අරාජිකත්වයක් නිර්මාණය කිරීමේ අරමුණු ඒ තුළ පැවැතිණි. විශේෂයෙන් දෙමළ ඩයස්පෝරාව මෙන්ම ආගමික අන්තවාදීන් සහ ඇතැම් දේශපාලන පක්‍ෂත් ඒ තුළ නිලීනව සක්‍රිය වී ඇති බවටත් කරුණු හෙළි වෙමින් පවතී. සිංහල බෞද්ධයන් මෙන්ම මහා සංඝරත්නය නිහඬ කිරීමත් ඔවුන්ගේ අපේක්‍ෂාව වී ඇති බවත් පෙනී යයි.

කෙසේ වෙතත් බෞද්ධ රාජ්‍ය නායකයකු වශයන් තම ජනතාවගෙන් කිසිවකුටත් එරෙහිව තමන් සතු විධායක බලය ක්‍රියාත්මක නොකොට පවතින තත්ත්වය හමුවේ නුවණින් සිතා ඉවසීමෙන් හා කරුණාවෙන් තම බලය අතහැර නික්ම යෑමට ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් කටයුතු කිරීම මහා සංඝරත්නය වශයෙන් අප දකින්නේ සැබෑ බෞද්ධ නායකයකු සිදු කළ ශේ‍ර්ෂ්ඨ නික්ම යෑමක් ලෙසයි. තම බලය අන් සතු කිරීමට ලොව කිසිදු නායකයකු මෙසේ ක්‍රියාත්මක වී නැත්තේය.

සවනි ශේශාධි