සැබෑ අරගලය යනු කුමක්ද?

0
223

අරගලය මේ කාලවකවානුව තුළ අපේ රටේ කවුරුත් දන්නා වදනකි. අරගලය යන වචනාර්ථය භාවිත කරනුයේ යම් යම් අරමුණු ඉටු කර ගැනීමේදී ඊට යම් බාධා පමුණුවන යම් යම් දේ ඉවත් කිරීම සඳහා කරන සටන අරගලයයි. දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික, අධ්‍යාපන යන  ක්‍ෂේත්‍රයන්හිදී ඒවා අවශ්‍ය ආකාරයට ඉටු නොවන විට ඊට බාධා පමුණුවන යම් යම් නීති රීති ක්‍රමවේද ගලවා දැමීමට අරගල කරයි. ජීවිතය ගැට ගසාගන්න අරගල කරන්නෝ මෙන්ම ජීවිතය දියුණු කර ගන්න, දියුණු වූ ජීවතය රැක ගන්න අරගල කරන්නෝද වෙති.

අප කරන අරගල දෙකක් වෙයි. ලෞකික හෙවත් භෞතික අරගලය හා ආත්ම හෙවත් ආධ්‍යාත්මික අරගලයයි. රටවල් දිනන්න, දේශයන් අල්වා ගන්න, දේශපාලන, ආර්ථික, අධ්‍යාපනික හා සමාජ සංස්කෘතික ප්‍රතිසංස්කරණයක් සඳහා කරන අරගලය ලෞකික අරගලය වේ. එය තනිතනිව හෝ පිරිසක් ඒකරාශීව කරයි. ඒ සඳහා විශාල වියදමක් දැරිය යුතුයි. මේ අරගලය තුළ ගොඩ නැඟෙන්නේ නිෂේධනාත්මක සිතුවිලිය. එනම් රාග, ද්වේෂ, කේ‍රා්ධ, මෝහ, උපනාහ, පලාස, ඊර්ෂියා, මසුරු, රළු, මාන, මත්වීම ආදී කෙලෙස්ය. දිනුවත් මේ කෙලෙස් උපදියි. පැරදුණත් මේ කෙලෙස් උපදියි. සියක් වසක්, අරගල සියයක් කොට මිනිසුන් සිය දහස් ගණනක් පැරදුවද මේ අරගලය උසස් නැත. ඊට හේතුව දිනුම් පැරදුම් හැම දෙනාටම නිෂේධනාත්මක සිතුවිලි පහළ වීම කරණකොටගෙන දිනූ පැරදුණු හැම දෙනාම  තම ජීවිතය පරාජයට පත් කර ගැනීමයි. බුදු රජාණන් වහන්සේ මෙම අරගල විශිෂ්ට නොවන බවත් එවන් අරගල නිෂ්ඵල අරගල බවත් දේශනා කරති.

උන්වහන්සේ අගය කරනුයේ ආධ්‍යාත්මික අරගලයයි. ආත්ම දමනයයි. තමන්ගේ සිත සංවර්ධනය කර ගැනීමයි. “එකාහං ජෙය්යත අත්තානං සවේ සංගාමජුත්තමො” සිත දමනය කර ගැනීම සඳහා අරගල කිරීම උතුම්ම අරගලය බව උන්වහන්සේ දක්වති. උන්වහන්සේ සිදු කළේ මෙවන් අරගලයකි. උන්වහන්සේ  මේ ලොව සියලු සතුන් වයසට පත්වන බව, ජරාව සියලු සතුන් ලෙඩ වන බව, ව්‍යාධි සියලු සතුන් මැරෙන බව මරණ පෙර නිමිති වශයෙන් දකින උන්වහන්සේ මේ ජරාව, ව්‍යා‍ධිය, මරණය නතර කිරීම උදෙසා අරගලයක නිරත වෙයි. ලොව විශිෂ්ටතම අරගලකරුවා ලොව්තුරු ශාන්තිනායක බුදුරජාණන් වහන්සේය. සසර මහා භයානක ඝොර වූ සංසාර රෝගය සන්සිඳු වීම උදෙසා උන්වහන්සේ වෙර වැඩූහ. ඒ සියලු සතුන්ගේ සුවය උදෙසාමයි.  “මම අවබෝධ කර ගනිමි, අන්අයට අවබෝධ කරවමි. මම මිදෙමි, අන් අය මුදවමි. මම එතරවෙමි, අන් අය එතර කරවමි” උන්වහන්සේගේ මෙම ප්‍රකාශනයම උන්වහන්සේ විශිෂ්ට අරගලකරුවකු බව සාක්ෂියි.

උන්වහන්සේගේ අරගලය ගැන මෙහොතක් සිතිය යුතුයි. එහි ආත්මාර්ථයක් ඇත්තේම නැත. පරාර්ථය සපිරුණු අරගලයකි. ලැබෙන්න තිබුණ සක්විති රජ සැපත අතහැරීම, “රම්‍ය, සුරම්‍ය, සුභ” යන මන්දිර අත හැරීම, සුවිනීත තම බිරිය අතහැරීම, කුලුඳුල් දරුවා රාහුල කුමරා අත හැරීම, රාජාභරණ අතහැර පඬුවන් සිවුරු දැරීම, රාජ භෝජන අතහැර පිණ්ඩපාතයෙන් යැපීම, සුවපහසු ආසන අතහැර රුක්මුල්හි වැඩ විසීම කෙතරම් අසීරු කටයුත්තක්ද උන්වහන්සේ එසේ කළහ. සැබැවින්ම මෙය අරගලයකි. මහා අපහසු අරගලයකි. මෙයින් සිදු කළේ තම සිතෙහි වූ නිෂේධනාත්මක සිතුවිලි බැහැර කිරීමයි. මහා අභිනික්මන තුළින් තමා පරිභෝජනය කළ ජීවිතයට ප්‍රතිවිරුද්ධ වූ ජීවිතයක් ඇරඹිණි. එයින් නතර කළේ තමාගේ සිතෙහි වූ මානයයි. වසර හයක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියාවෙහි යෙදීමද අරගලයකි. එසේ අරගල කොට උන්වහන්සේ විමුක්තිය ලදහ.

උන්වහන්සේ පමණක් නොව උන්වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝද මෙම අරගලයෙහි නිරත වූහ. කුණ්ඩලකේසි නම් ශ්‍රාවිකාව යොවුන් අරගලකාරියකි. ඇගේ මුල්ම අරගලය තමන්ට ස්වාමියකු ලබා ගැනීමයි. මරන්න ගෙන යන සොරෙකු දකින ඕ ඔහු ලබා ගැනීමට අරගලයක් කරයි. සද්ධර්ම රත්නාවලී කතුවර ධර්මසේන හිමියන් මේ අරගල අවස්ථාව මෙසේ වර්ණනා කරයි. “උෟම පතා බතුත් නොකා යානට වැදිලා වැද හොත්තේය” පළමු අරගයෙන් ඇය දිනයි. දෙවැනි අරගලය නම් මේ සොරාගේ සිත දිනා ගැනීමයි. විසිතුරු ඇඳුම් ආයිත්තම් හැද පැලැඳ තමාගේ අතින්ම උයමින් පිහමින්, කවමින් පොවමින්, ඔහුව නාවමින් නොයෙකුත් දේ කරයි.

එහෙත් ඒ අරගලය දිනුවේ නැත. දිනුවා යැයි සිතන්නට විය. එය නොදිනූ බව හැඟෙන්නේ තෙවන අරගලයේ දීයි. තමා දිවි ගලවා ගත්තේ සොරුන් හෙළන ගලෙහි වූ දෙවියන්ට වූ බාරය නිසා බවත් එය ඔප්පු කළ යුතු බවත් ඒ සඳහා දෙදෙනා පමණක් යායුතු බව සොරා කියයි. සොරුන් හෙළන ගලට ගිය සොරා කියනුයේ මෙම ගලට නුඹ රැගෙන ආවේ නුඹ මරා නුඹේ ආභරණ පැහැර ගන්නට බවයි. ඇගේ තෙවැනි අරගලය දිවි ගලවා ගැනීමයි. ඕ මුලින් බැගෑපත් වෙයි. එයින් ඵලක් නුවූ කල ඕ බුද්ධිමත් වෙයි. උපක්‍රමශීලී වෙයි. තම පරම්පරාවේ සිරිතක් බව දක්වා ඔහුව පැදකුණු කොට වඳින්න අවසර ලැබගෙන ඔහුට වඳින බව අඟවා පසු පසට ගොස් බෙලෙන් හා තුනටියෙන් අල්වා ඔහු ගලින් පහළට තල්ලු කර දමයි. ජීවිතය ගලවා ගැනීමේ අරගයෙන් ඕ දිනයි.

ඊළඟට ඕ ජීවත්වීමේ අරගලයක යෙදෙයි. තම නිවෙසට යා නොහැකිය. තම ස්වාමියා තමා මරා ආභරණ සොරකම් කරන්නට සූදානම් වුණා යැයි කී විට කිසිවෙකු පිළි නොගනී. අල්ලස් දී ස්වාමියා ලබා ගත්තේ මරා දමන්නට දැයි ප්‍රශ්න කරයි. ආභරණ පැලඳ තනිවම යා නොහැකිය. මේ නිසා ආභරණද ඉවත ලා ඇය පරිභ්‍රාණජිකා ආරාමයකට ගොස් පරිභ්‍රාජිකාවක් වී වාද දහසක් ඉගෙන ගත්තාය. දඹ අත්තක් අතින් ගෙන එය තැනක සිටුවයි. එය ගලවන්නා අෑ සමඟ වාද කටයුතුය. වාදෙන් අෑ දිනුවොත් පැරදුණු අය ඇගේ දහම වැලඳගත යුතුයි. අෑ පැරදුණොත් වාද කළ අයගේ දහම වැලඳ ගනියි. ඕ වාදයෙහි දක්ෂ වූවාය. කිසිවෙක් අෑ හා වාදයට නොඑති. දිනක් සැරියුත් හිමි හා වාද කොට ඕ පැරදිණි. පැරදුණු ඕ ලෞකික අරගලය නිමා කොට තම ආත්මය දිනීමේ ලෝකෝත්තර අරගලයෙහි යෙදී ජයග්‍රහණය කළාය.

මෙම කතා පුවත තුළ ලෞකික හා ලෝකෝත්තර යන අරගල දෙකම වෙයි. ලෞකික අරගලයන් තුළ රාගාදී ක්ලේශයන් මෙන්ම ප්‍රචණ්ඩත්වය වෙයි. ප්‍රාණඝාතාදී අකුසල කර්ම සිදු වෙයි. දැඩි ආත්මාර්ථය පදනම් කොට ගත් එය එකෙකු දිනන විට එකෙකු පරදියි. මේ නිසා නරක කෙලෙස් තුළින් පව් හට ගනියි. තම සිත දමනය කරන අරගලය එසේ නොවෙයි. තමනුත් දිනයි. අන් අයත් දිනති. සිත තුළ යහපත් සිතුවිලි උපදින නිසා ප්‍රචණ්ඩත්වයක් නැත. තමනුත් දිනයි. අන් අයටත් සතුට ලැබෙයි.

ලෝකෝත්තර අරගලය නම් භව සසර ඉපදෙමින් මැරෙමින් ගමන් කරන අප සිත වූ කෙලෙස් අර ගලවා දැමීමේ අරගලයයි. මෙම අරගලයේදී අප කළ යුත්තේ අපේ සිත කළමනාකරණයයි. සිත සංවර්ධනය කර ගැනීමයි. මේ සඳහා වූ පෙළපාළිය, උද්ඝෝෂණය, උපවාසය, භාවනාවයි. සමථ හා විදර්ශනා වශයෙන් භාවනා දෙකක් වෙයි. සමථ භාවනාවෙන් විමුක්තිය සඳහා පරිසරය සකස් කරයි. විදර්ශනා භාවනාවෙන් සංසාර විමුක්තිය ලබා දෙයි. පළමුව සම්මා සතියට පැමිණිය යුතුයි. කය අනුව තමන් දැකීම, විඳින දේ අනුව තමන් දැකීම, සිත අනුව තමන් දැකීම, ධර්මය අනුව තමන් දැකීම සම්මා සතියයි. ඉන් අනතුරුව කමටහන් ගෙන තමන්ට ගැළපෙන භාවනාවකට යායුතුයි. මේ අනුපස්සනා භාවනා විධි අනුගමනය කිරීම එහි එක් ක්‍රමයකි.

ආනාපාන සති භාවනාව මේ අනුපස්සනා භාවනාවකි. පිළිකුල් භාවනාව තවත් අනුපස්සනාවකි. එසේ නැතහොත් අනුස්මෘති භාවනාවට යා යුතුයි. බුද්ධ, ධම්ම, සංඝ ගුණ අනුස්මෘතිය, මෙත්තා, චාග, මරණ අනුස්මෘතිය මෙහිලා ඇති ක්‍රමවේදයි. එමෙන්ම කසින භාවනාවේ නිරත විය හැකිය. මේ අයුරින් සිත දියුණු කරන විට රූපාවචර, අරූපාවචර ධ්‍යාන ලැබිය හැකියි. මෙසේ සිත දියුණු කරගෙන ඉදිරියට යද්දී ප්‍රඥා භාවනාව තුළින්  මේ සසර ගමන නිමා කොට නිවනින් සැනසිය හැකිය. කෙලෙස් අර ගලවා දමනුයේ මේ ප්‍රඥා භාවනාව තුළිනි. මෙම කරුණු පදනම් කොට ගෙන මේ ලෝකෝත්තර අරගලය උතුම් වෙයි.

මෙම අරගල හඳුනාගෙන ජීවිතය වඩාත් උසස් තත්ත්වයට පත් කරන ආත්ම දමනය කරන අරගලයෙහි නිරතව මෙලොව විමුක්තිය පමණක් නොව භව සංසාරයටම විමුක්තිය උදා කරන අරගලයක නිරත වෙමු. ඒ තුළින් මෙලොව ජීවිතය දියුණු කර ගනිමු. පරළොව ජීවිතය දියුණු කරමු. නිවනින් සැනසීම ලබා ගනිමු.

උෟවේ සියම් මහ නිකයේ මහා ලේඛකාධිකාරි,
ශාස්ත්‍රපති විල්ඔය පඤ්ඤාතිලක ස්ථවිර