සාමණේර හිමිනමගේ කුටියේ තිබූ ලක්‍ෂ 4කට අධික මුදල් අතුරුදන්

0
10

පානදුර, පින්වත්ත ශ්‍රී කල්‍යාණෝදයාරාම විහාරස්ථානයේ හිමිනමක සිය කුටියේ හිස් අයිස්ක්‍රීම් පෙට්ටියක බහා තිබූ රුපියල් හාර ලක්‍ෂ පනස්දහසකට අධික මුදලක් අතුරුදන්වීමක් ගැන ඊයේ (01දා) ලද පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පවසයි.

පැමිණිලිකාර හිමි වැඩවසන කුටියේ අල්මාරියේ එම පෙට්ටියේ බහා තිබූ රුපියල් හාරලක්‍ෂ පනස්දහසක මුදලක් සහ තවත් ලිපි කවරයක බහා තිබූ මුදල් මෙලෙස සොරකම් කර ඇති බවත් එම මුදල බහාලූ අයිස් ක්‍රීම් පෙට්ටිය අල්මාරියේ දමා එහි යතුරද සිය ගමන් මල්ලේ දමා තිබී ඇත. පසුගිය දිනක මුදල් සහිත එකී ලිපි කවරය කාමරයේ බිම වැටී තිබෙනු දැක අල්මාරිය පරීක්‍ෂා කිරීමේදී එහි මුදල් නොමැති බව දැක තිබේ.

පානදුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, ස.පො.අ. නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පින්වත්ත වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ සාජන් මේජර් ජයසිංහ පරීක්‍ෂණ කරති.

පොතුපිටිය – සුමිත් රණවක