සර්වපාක්ෂික බැරි නම් බහුපක්ෂ ආණ්ඩුවක් බිහි කර හෝ රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න

0
10

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල එකතුවෙන් සර්ව ාක්ෂික ආණ්ඩුවක් බිහිකර ගැනීමට නොහැකි බවක්   පෙනෙන්නට ඇති නිසා බහු පක්ෂ සහිත ආණ්ඩුවක් හෝ ස්ථාපිත කර රටේ දැවෙන ප්‍රශ්නවලට විස¾දුම් සෙවීමට පියවර ගත යුතුව ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පවසති.

ජනපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී පක්ෂ හා පිල් වශයෙන් බෙදුණු බවක් පැහැදිලිව පෙනෙන්නට තිබුණු බවත් ඒවා එම අවස්ථාවට පමණක් සීමා කර පසුව කවුරුත් එකට එකතු වී වැඩ කරන්නේ නම් එය ඉතා හොඳ බවත් උන්වහන්සේ පැවැසූහ.

අගමැති දිනේෂ් ගුණවර්ධන පෙරේදා (31දා) අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ හිමිවරු කිහිපනමක් බැහැදුටු අවස්ථාවේ අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ. එම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරංපනාවේ ආනන්ද, මුතියංගණ රජමහා විහාරයේ භාරකාර කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන හිමිවරුද සහභාගි වූහ.

එහිදී අස්ගිරි අනුනාහිමියෝ මෙසේද කීහ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල මන්ත්‍රිවරු සියයට 100ක් එකතු කරගෙන ආණ්ඩු කරන තත්ත්වයක් ගැන සිතීමට නොහැකියි. හිටපු ජනපතිවරයාද ඒ සඳහා කළ උත්සාහය සාර්ථක වුණේ නැහැ.

පක්ෂ හා පිල් වශයෙන් බෙදී තම තමන්ගේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා යොමු වීමට වඩා මේ අවස්ථාවේ වැදගත් වන්නේ රටේ ආර්ථික ගැටලුවට විස¾දුම් සෙවීම පිණිස සැවොම එකට එකතු වීමයි. ඒ සඳහා ප්‍රධාන පක්ෂවල පමණක් නොව සුළු පක්ෂවල සහායද ලබා ගැනීම වැදගත්.

මේ අවස්ථාවේ සියලුදෙනා එකතු කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සකස් කර ගැනීමට නොහැකි නම් බහු පක්ෂ සහිත ආණ්ඩුවක් කරා යනවා හැර වෙනත් විස¾දුමක් නැහැ. වර්තමානයේ තිබෙන අර්බුද අතරින් ප්‍රධාන වන්නේ ආර්ථික අර්බුදය බවත් අනෙක් සියලු අර්බුද පැනනැඟුණේ ඒ ඔස්සේයි. දරිද්‍රතාව නිසා එදිනෙදා ජීවිතය ගෙන යෑමට පවා නොහැකිව ජනතාව අසරණ වී සිටිනවා.

දේශපාලන වශයෙන් තනතුරු, පුටු, පුද්ගලයෝ කියන කාරණාවලට  වඩා ආර්ථික ගැටලුව කෙරෙහි ප්‍රමුඛතාව ලබාදිය යුතුයි. ඇඟලුම් කර්මාන්තයේ කිසියම් වර්ධනයක් ඇතිව තිබෙන බව දැනගන්න ලැබීම සතුටක්. පොදු දේපොළ හා පෞද්ගලික දේපොළ විනාශ කිරීම ශිෂ්ටසම්පන්න ලෝකයේ කිසිවකුත් අනුමත කරන්නේ නැහැ. ව්‍යවස්ථා සංශෝධනයට වඩා මේ අවස්ථාවේ ප්‍රමුඛස්ථානය දිය යුත්තේ ජනතාවගේ ජීවන බර අඩු කිරීම සම්බන්ධවයි.

මෙහිදී අදහස් දැක්වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා රට ඉතා බරපතළ ආර්ථික, සමාජීය හා දේශපාලන වශයෙන් අර්බුද ගණනාවකට පසුගිය මාස ගණනාව තිස්සේ මුහුණ දුන්නා. මේ ප්‍රශ්නවලට රජය යම් ආකාරයක විස¾දුම් ඉදිරිපත් කරමින් සිටිනවා.

විදුලිය, ගෑස්, ඉන්ධන නොමැති වීමත් ජීවන වියදම ඉහළ යෑමත් නිසා සමාජය තුළ යම් කැලඹීමක් ඇති වුණා. එය පසුව දේශපාලන අර්බුදයක් දක්වා ගමන් ගත්තා. ජනපතිවරයා තනතුරෙන් ඉවත් වූ පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නව ජනපතිවරයකු පත්කර ගත්තා. මෙවැනි අර්බුදකාරී අවස්ථාවක සියලු පක්ෂ එකට එකතු වී වැඩ කරන්නේ කෙසේද යන්න සම්බන්ධව දැන් පුළුල් සාකච්ඡාවක් නිර්මාණය වී තිබෙනවා.

සෑම පක්ෂයකටම වෙනම මතයක් තිබෙන නමුත් මහනායක හිමිවරුන්ගේ අනුශාසනා කළ පරිදි සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැඟීම සඳහා රජය පියවර ගනිමින් සිටිනවා.

මහනුවර-කේ. එල්. සුරවීර